ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කේ 8 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් පසුගියදා (20) වාරියපොළ ඉහළ මිනුවන්ගැටේ ප්‍රදේශයේ පොල් වත්තකට කඩා වැටීමෙන් යානය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ විය. එහි ගමන් ගත් නියමුවන් දෙදෙනා පැරෂූට් දෙකක ආධාරයෙන් යානයෙන් ඉවත්වී දිවි බේරා ගැනීමට සමත් වූහ. ගුවනේදී යානය නියමුවන්ගේ පාලනයෙන් ගිලිහී ගසාගෙන යන ආකාරය සහ නියමුවන් දෙදෙනා පැරෂූට් දෙකක් අධාරයෙන් පොළොවට පහත් වන ආකාරය ප්‍රදේශවාසීන් බොහෝ දෙනකු දැක තිබිණ. අනතුර සියැසින් දුටු ඉහළ මිනුවන්ගැටේ පදිංචි ආර්.එම්. රංබණ්ඩා මහතා සිද්ධිය විස්තර කළේ මෙසේය.
Òඑතකොට හරියටම වෙලාව උදේ අටට විනාඩි හතරක් විතර ඇති. මගේ කුඹුර හාන්න ට්‍රැක්ටරය එනවා කිවුව නිසා මම ගෙදරින් එළියේ පාර ආසන්නයේ හිටියා. එතකොටම ලොකු ශබ්දයක් ඇහුණා. මට හිතා ගන්න බැරිවුණා කොහෙන්ද ඒ ශබ්දය ආවේ කියලා. එතකොට මම දැක්කා සුදුපාට දිලිසෙන අහස් යානයක් අහසේ පෙරළි පෙරළි පහතට වැටෙනවා. මට හිතෙන්නේ විනාඩියකින් විතර ඒක ගස්වලට වැහුණා. වෙළගෙදර වත්තෙ පොල්ගස් අතරට තමා යානය වැටුණේ. එතකොටම මහා හඬක් එක්ක ගිනි ජාලාවක් මතුවුණා. බල්ලො බුරන්න පටන් ගත්තා. අපි ඒ පැත්තට දුවගෙන ගියා. යනකොට තමයි අපි දැක්කේ කළු දුම් පිට කරගෙන අහස් යානය ගිනි ඇවිළෙනවා. අපි ළඟට ගියේ නැහැ. පිපිරෙන ශබ්ද කීපයක් ඇහුණා. පොල් ගහක කරටියක් කැඩිලා ගිහින් තිබුණා. හැම පැත්තෙන්ම මිනිස්සු දුවගෙන එන්න පටන් ගත්තා.Ó
ගුවන් යානය කඩා වැටෙනු දුටු ටී.එම්.එස්. තෙන්නකෝන් මහතා තමන් දුටු සිද්ධිය මෙසේ විස්තර කළේය.
Òයානයෙන් ශබ්දයක් පිට වෙනවත් එක්ක අපි දැක්කා සුදුපාට කුඩා බෝල දෙකක් යානයෙන් පිට වෙනවා අපේ ගේ ළඟ තියෙන සමිති ශාලාව ළඟට දුවගෙන ගියාම අහස පැහැදිලිව පෙනුණා. ටික වෙලාවක් යද්දි අපි දැක්කා පැරෂූට් දෙකකින් දෙන්නෙක් පොළොවට පහත් වන බව. අපි ඒ දෙන්නා ගසාගෙන යන පැත්තට දුවගෙන ගියා.”
වාරියපොළ සුන්දරගම පදිංචි සුවිනීතා මල්කාන්ති මහත්මියගේ නිෙවස අසලට එක් පැරෂූටයකින් පැමිණි නියමුවකු ගොඩබා ඇති බව දැනගන්න ලැබුණු අතර ඇය සොයා ගොස් ඒ පිළිබඳව විමසීමේදී ඇය සිය අත්දැකීම මෙසේ පවසා සිටියාය.
“ලොකු ශබ්දයක් ඇහුණා. අපිත් එළියට ඇවිත් බැලුවා. එතකොට අපි දැක්කා සුදුපාට පැරෂූට් දෙකක් අපේ ගෙවල් පැත්තට පාත් වෙනවා. අපි වෙල පැත්තට දුවගෙන ගියා. එක පැරෂූට් එකක් සුන්දරගම ඉස්කෝලේ පැත්තට සුළඟේ ගසාගෙන ගියා. අනිත් එක අපේ වෙලට පාත් වුණා. අපි දුවගෙන ගිහින් පැරෂූට් එකේ ආපු කෙනා අල්ලා ගත්තා. එයා හමුදාවේ වගේ ඇඳුම් ඇඳල හිටියේ. ඒ නිසා අපි දැනගත්තා ගුවන් හමුදාවේ කියලා. එයා අපෙන් ඇහුවා අනිත් පැරෂූට් එකේ ආව කෙනා කෝ කියලා. අපි කිවුවා එයා ටිකක් එහාට ගසාගෙන ගියා කියලා. අපි එයාට වතුර බොන්න දුන්නා. ඊට පස්සෙ අනිත් එක්කෙනාව හොයන්න බයික් එකකින් පිටත්කර යැව්වා.”
සිද්ධිය ඇසින් දුටු මිනුවන්ගැටේ ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. දිසානායක මහතා මෙසේ කීය.
‘‘මම උදේ වැඩට යන්න මුහුණ සෝදමින් ඉන්නවිට එක පාරටම ශබ්දයක් ඇහුණා. සද්දේ දිහා බලනකොට ගොඩාක් උඩ ඉඳලා කැරකි කැරකි යම් දෙයක් පහළට එනවා දැක්කා. ඒ සමඟම විශාල ශබ්දයක් එක්ක ගුවන් යානය කඩා වැටෙනවා කියා පුතා ඇවිත් කීවා. මම ඊට පස්සේ ටිකක් බලනවිට අහසේ මොකක්ද දෙයක් පාවෙනවා වගේ දැක්කා. පසුවයි මම දැන ගත්තේ ගුවන් නියමුවන් දෙදෙනා තමයි පැරෂූට් මාර්ගයෙන් පහළට ඇවිත් තියෙන්නේ කියලා. සුළං අත නිසා පැරෂූට් දෙකම ඈතට පාවෙලා යනවා දැක්කා” යැයි කීය.
යානයේ පැමිණි අනෙක් නියමුවා සුන්දරගම පාසල අසලට ගොඩබා සිටි අතර, ඒ අසල වූ විදුලි රැහැනක ගැටීම හේතුවෙන් ඔහු සුළු පිලිස්සුම් තුවාල ලබා සිටි බව ගම්මු පැවසූහ. පසුව 1990 ගිලන් රථයක් මඟින් නියමුවන් දෙදෙනාම කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ගෙනයෑමට කටයුතු කර තිබිණි. ගුවන් යානය කඩා වැටුණු ස්ථානයට වාරියපොළ පොලීසිය විසින් විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූ අතර කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ද කැඳවා තිබිණ.
වාරියපොළ යුද හමුදා කඳවුරේ භට පිරිස් ද ස්ථානයට කැඳවූ අතර පැයකින් පමණ ගුවන් හමුදාවේ පිරිස් ද එම ස්ථානයට පැමිණියහ. මේ යානය ගුවන් හමුදාවේ 5 වන ප්‍රහාරක බළකායට අනුයුක්ත ගුවන් නියමුවන්ගේ උසස් පුහුණුවීම් සඳහා යොදාගන්නා යානයක් බව ද එදින උදෑසන 7.17ට පමණ කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් පිටත්ව ඇතැයි ද දැනගන්නට ලැබිණ. යානයේ ගමන් කර ඇත්තේ ප්‍රධාන පුහුණු උපදේශක වින් කමාන්ඩර් සුදර්ශන බණ්ඩාර සහ පියාසර නිලධාරි සචිත් දවුලගල දෙදෙනා බව පසුව දැනුම් දෙන ලදී. යානයේ සුන්බුන් පරීක්ෂා කිරීමට විශේෂ නිලධාරීන් දෙදෙනෙකු පසුගියදා (21) අනතුර වූ ස්ථානයට පැමිණි අතර අදාළ පරීක්ෂණවලින් අනතුරුව යානයේ කොටස් ගුවන් හමුදාවේ නිලධාරීන් විසින් රැගෙන යෑමට කටයුතු කළහ.
වාරියපොළ සමූහ – එන්.එම්. රවීන්ද්‍ර ප්‍රභාත් සහ මහව සමූහ – සංජීවනී ආරියරත්න