Home » සුඩාන රජයේ හමුදාව පාර්ලිමේන්තුවේ බලය අල්ලයි

සුඩාන රජයේ හමුදාව පාර්ලිමේන්තුවේ බලය අල්ලයි

by sachintha
March 24, 2025 4:00 pm 0 comment

සුඩානයේ සිවිල් යුද්ධය තවදුරටත් වර්ධනය කරමින් එරට හමුදා ප්‍රධානි අබ්දෙල් ෆටාගේ නායකත්වයෙන් යුතු රජයේ හමුදාව පාර්ලිමේන්තුවේ බලය අත්කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර 2023 අප්‍රේල් මාසයේ සිට පවතින සුඩානයේ හමුදා ජෙනරාල්වරු දෙදෙනකු අතර බල අරගලය උත්සන්න වීමෙන් පසු පාර්ලිමේන්තුව ඇතුළු රාජ්‍ය පරිපාලනය සියතට ගත් හිටපු නියෝජ්‍ය අණදෙන නිලධාරී මොහොමඩ් හම්දාන්ගේ නායකත්වයෙන් යුතු පැරාමිලිටරි හමුදාවට රජයේ හමුදාවෙන් දරුණු ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ද, මේ වන විට රජයේ හමුදාව එරට මහබැංකුවේ බලය ද අත්කර ගැනීමේ ආසන්නයට පැමිණ ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. සුඩානයේ කාර්ටුම් අගනුවර මුළුමනින්ම යුද පිටියක් බවට පත්වී ඇති අතර, රජයේ හමුදාව අගනුවර වැටලීමෙන් පසු පැරාමිලිටරි හමුදාව පසුබසිමින් සිටින බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. රජයේ හමුදාව එරට පාර්ලිමේන්තුවේ බලය අත්කරගනු ලැබුවේ වසර දෙකකට පසුව බවද වාර්තා වේ.

මීට මාස කිහිපයකට පෙර රජයේ හමුදාව විසින් ආරම්භ කරනු ලැබූ අගනුවර අත්පත් කරගැනීමේ මෙහෙයුම හේතුවෙන් රට පුරා ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත වී තිබේ. නගර ගණනාවක කොල්ලකෑම් සහ වෙනත් අපරාධ ක්‍රියාකාරකම් පැතිරී ගොස් ඇතැයි ද වාර්තා වේ. වසර දෙකකට ආසන්න කාලයක් පවතින මේ යුද ගැටුම් හේතුවෙන් හමුදා ගැටුමට මැදිවූ සිවිල් වැසියන් දසදහස් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, මිලියන 12ක් පමණ අවතැන් වී ඇති බවත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT