Wednesday, March 26, 2025
Home » ජල සම්පතේ තිරසර පැවැත්මට ක්ලීන් ශ්‍රී ලංකා

ජල සම්පතේ තිරසර පැවැත්මට ක්ලීන් ශ්‍රී ලංකා

by sachintha
March 24, 2025 4:40 pm 0 comment

 

(මාර්තු මස 22 වැනි දිනට යෙදී තිබූ ලෝක ජල දිනය නිමිත්තෙනි)

ජලය නම් මූලික සම්පත නොමැති වූවා නම් මිනිසා ද මේ මිහිපිට නොමැත. මේ හේතුවෙන් ලොව අඛණ්ඩ පැවැත්මට ජල සම්පත රැකගැනීම අතිශයින්ම වැදගත් ය.

එම අවශ්‍යතාව අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 22 වැනිදා ලෝක ජල දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ ලොවෙහි ශේෂව පවතින ඉතා කුඩා ජල ප්‍ර‍මාණය කළමනාකරණය කිරීමට පිළියම් යෙදීම සියලු රටවල ප්‍රමුඛ වගකීම නිසාවෙනි.

පෘථිවියේ හතරෙන් තුනක් ජලයෙන් වසා පැවතියත් ඉන් බීමට ගතහැක්කේ 1%ටත් වඩා අඩු ප්‍රමාණයකි.මේ වනවිට ලොව පුරා පුද්ගලයින් බිලියන 2.2 ඉක්ම වූ පිරිසකට පිරිසුදු පානීය ජලය නොලැබෙයි. අපිරිසුදු ජලය පානය කිරීම හේතුවෙන් වාර්ෂිකව ලොව මිලියන 1.4කට අධික පිරිසක් මියයන අතර තවත් මිලියන 74ක ආයු අපේක්ෂාව පහළ යන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මේ අතර පුද්ගලයන් මිලියන 2.3කට සිය නි‍ෙවසේදී සබන් ගා අත් සේදීමට වරම් නොමැති බ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව ලොව පුරා බිලියන තුනකට අධික ජනතාවක් ජල අවශ්‍යතා සපුරා ගන්නේ, ජාතික දේශසීමා හරහා ගමන් කරන ජල මාර්ගවලින් බව සඳහන් වේ. ගංඟා, වැව් ඇතුළු අනෙකුත් ජලමූලාශ්‍ර අසල්වැසි රටවල් සමඟ බෙදා ගන්නා රටවල් සංඛ්‍යාව 153කි.

මේ අතර ලෝක ජනගහනයෙන් අඩක් පමණ අවම වශයෙන් වසරකට වරක්වත් බරපතළ ජල හිඟයකට මුහුණ දෙන බව පරිසර සංවිධාන පෙන්වා දෙති. ලෝක බැංකුවේ පුරෝකථනවලට අනුව ලෝකය, 2030 වනවිට ඉල්ලුම සහ පවතින ජල සංචිත (සැපයුම) අතර හිඟයකට මුහුණදෙනු ඇත.

ජල සම්පතේ තිරසර පැවැත්ම

ලෝක තත්ත්වය මෙසේ වෙද්දී ශ්‍රී ලංකාවේ අප ද දිනෙන් දින ජල ගැටලුවට මුහුණ දෙමින් සිටින්නෙමු. රටක් ලෙස අපට ගෝලීය උණුසුම මතම වරද පටවමින්, ජලය රැකීම යන වගකීමෙන් මිදීමට නොහැකි වන්නේ බොහෝ මිනිස් ක්‍රියාකාරකම් ජල අර්බුදයකට මඟ පාදා ඇති නිසයි.

එහෙයින් ජල සම්පත සුරැකීමට අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසකි. ඒ වෙනුවෙන් තනි තනි පුද්ගලයන් ලෙස, කණ්ඩායම් ලෙස සහ සමස්ත රටවැසියන් ලෙස අවධානය යොමු කිරීම සහ පරිචයේ වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍ය වේ. වත්මන් රජය ආරම්භ කළ Clean Sri Lanka වැඩසටහන ජල සම්පතේ තිරසර පැවැත්ම වෙනුවෙන් අදාළ වන්නේ ඒ අනුවයි.

සෑම වසරකම ලෝක ජල දිනය සැමරීමේදී ඒ සඳහා තේමාවක් පදනම් කර ගැනේ. 2025 ලෝක ජල දිනයේ තේමාව වන්නේ “සුරකිමු ග්ලැසියර්” යන්නයි. අපේ රටේ ග්ලැසියර් නොමැති වුවත් ග්ලැසියර් දියවීමෙන් සිදුවන බලපෑම අප වැනි දූපත් රාජ්‍යයකට ඉතා අහිතකරව බලපෑ හැකිය.

ග්ලැසියර් ස්වාභාවික ජලාශ ලෙස පරිසරයට මහඟු සේවයක් කරන අතර ක්‍රමයෙන් ජලය, මිරිදිය ගංගා හා විල්වලට මුදා හැරීම සිදු කරයි. එමඟින් පරිසර පද්ධති සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ජල ප්‍රභව නිපද වේ. පානීය ජලය, කෘෂිකාර්මික කටයුතු, ජල විදුලිය සඳහා මේ ජලය භාවිත කෙරේ. කෙසේ වෙතත් දේශගුණික විපර්යාසයන්හි බලපෑම් ජල ආරක්ෂණ හා පාරිසරික සමතුලිතතාවට දැඩි තර්ජනයක් එල්ල කරමින් ග්ලැසියර් දියවීම වේගවත් කරයි. මේ නිසා ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදෙනු ඇත.

මෙම අර්බුදයට එරෙහිව සටන් කිරීම සඳහා ඉතා ඉක්මනින් පියවර ගතයුතුය. පරිසර දුෂණය අවම කිරීම සහ කාබන් විමෝචනය අවම කිරීම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ ග්ලැසියර දියවීම මන්දගාමී කිරීම සඳහා තීරණාත්මක සාධකයකි. එහෙයින් ගෝලිය උෂ්ණත්වය ඉහළ යාමට බලපාන පරිසර දූෂණය සහ ජල දූෂණය වළක්වා ගනිමින් 2025 ලෝක ජල දින තේමාවේ අරමුණු ඉටු කිරීමට ශ්‍රී ලංකාවට ද පුළුල් වගකීමක් පැවරේ.

වන වැස්ම ඉවත් වීම

පසුගිය දා ප්‍රකාශයට පත්වූ වාර්තාවක සඳහන් වන්නේ කිතුල්ගල සහ කඩුවෙල අතර ප්‍රදේශ හරහා ගලායන කැලණි ගඟේ ජලය අපවිත්‍ර වීම නිසා මත්ස්‍ය විශේෂ 59ක් පමණ මියගොස් ඇති බවයි. එපමණක් නොව ජලයේ අඩංගු pH අගයේ වෙනස් වීම ද නිරන්තරව සිදු වන බව ද වාර්තාවේ. එවැනි තත්ත්වයන් ජලයේ ගුණාත්මකභාවයට බරපතළ තර්ජනයකි. එබැවින් ජලය සුරක්ෂිත කිරීම සඳහා ජල මූලාශ්‍ර සුරැකීම, වනාන්තර විනාශය පාලනය කිරීම, ජලපෝෂක ප්‍රදේශ සංරක්ෂණය සහ ප්‍රජා සහභාගිත්වය තුළින් ජල සම්පත සුරැකීම සඳහා අවධානය යොමු කිරීම වැනි කරුණු සිදු කළ යුතුව තිබේ.

මෙරට සමාජයීය, පාරිසරික මෙන්ම ආචාරධාර්මික වශයෙන් නව පරිවර්තනයකට ලක් කරමින් සමාජය වඩා දියුණු තලයකට ඔසවා තැබීමේ අරමුණින් ක්‍රියාත්මක Clean Sri Lanka වැඩසටහන තුළ පරිසරය සහ ජල සම්පත රැක ගැනීමේ වැඩපිළිවෙළ ද ක්‍රියාත්මක වේ. ඒ අනුව ජලමූලාශ්‍ර සුරැකීම, වනාන්තර

විනාශය පාලනය කිරීම සහ ජලපෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුම්වත් කරමින් ඔවුන් තුළ ඒ පිළිබඳ ආකල්පමය සහ ආචාර ධාර්මික පිබිදීමක් ඇති කිරීමේ ක්‍රියාකාරකම් Clean Sri Lanka වැඩසටහන යටතේ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Clean Sri Lanka වැඩසටහන යටතේ “ආදර්ශ නාගරික හරිත කලාප” ව්‍යාපෘතියක් ද සැලසුම් කර ඇත්තේ ඒ අනුවයි. එහි කටයුතු මෙම මාසය අවසන් වීමට පෙර ආරම්භ කිරීමට නියමිතය.

එසේම මෙවර ලෝක ජල දිනයේ තේමාව වන “සුරකිමු ග්ලැසියර්” යන්නට එවන් ව්‍යාපෘති මැනවින් සමපාත වෙයි. මන්ද යත් ග්ලැසියර් දියවීමට බලපාන ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමේදී හරිත කලාප සහ වන වගාව පිළිබඳ ලෝකයේම අවධානය යොමුව ඇති නිසාවෙනි.

එපමණක් නොව වනාන්තර සංරක්ෂණය, පාංශු සංරක්ෂණය, ජලපෝෂක සංරක්ෂණය සහ දියබෙත්ම කළමනාකරණය සඳහා වැඩසටහන් රැසක් ක්ලීන් ශ්‍රී ලංකා යටතේ මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී අදාළ සියලු ආයතන සමඟ සම්බන්ධවෙමින් මෙම කටයුතු ක්‍රියාත්මක කෙරේ.

ජලය කළමනාකරණය කිරීම

විශේෂයෙන්ම සීමිත ජල සම්පත අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳ ජනතාව තුළ ආකල්මය වෙනසක් ඇති කිරීමට ද මේ යටතේ සුවිශේෂී අවධානයක් යොමු කර තිබේ.

වර්තමානයේදී මෙන්ම අනාගතයේදී සෑම කෙනකුටම තිරසර ජල සහ සනීපාරක්ෂක සේවා සඳහා ප්‍රවේශය හිමිවිය යුතුය. සැබැවින්ම අනාගත පරම්පරාවේ යහපැවැත්ම සහතික කිරීම වර්තමානයේදී තිරසර පිළිවෙත් අනුගමනය කිරීම මත රදා පවතියි. ජලමූලාශ්‍ර රැක ගැනීම, ජල සම්පත සුරැකීම සහ වනාන්තර රැක ගැනීම සහ පරිසර සංරක්ෂණයට අදාළ නීති සහ ප්‍රතිපත්ති අපේ රටේ ඕනෑතරම් තිබේ. අවශ්‍ය වන්නේ ඒවා ක්‍රියාත්මක තලයට ගෙන ඒම සහ ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමයි. ඒ වෙනුවෙන් වූ ක්‍රියාකාරකම් ද ඉදිරියේ දී Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වනු ඇත.

රටක් ලෙස අපට මෙම කටයුත්ත කිසිසේත් අසීරු නොවේ. අවශ්‍ය වන්නේ මෙම පරිවර්තනීය වෙනස වෙනුවෙන් අවබෝධයෙන්, එකමුතුව සහ සාමූහික දැක්මකින් ඉදිරියට යාමයි. මතු පරපුර වෙනුවෙන් ජල සම්පතේ තිරසර පැවැත්ම සහතික කිරීමේ පරිවර්තනීය ගමනට අප සියලුදෙනා අත්වැල් බැඳ ගනිමු !

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT