අක්මාවේ තෙල් තැන්පත්වීම හෙවත් ෆැටි ලිවර් (Fatty Liver) වර්තමානයේ බොහෝ දෙනෙකු මුහුණපා සිටින ආමාශය ආශ්‍රිත තවත් රෝගයක් ලෙස සැලකිය හැකිය. අක්මාවේ මුළු බර ප්‍රමාණයෙන් සියයට 5-10ත් අතර ප්‍රමාණයක මේද තැන්පත්වී තිබීම සාමාන්‍ය වේ. මේ ප්‍රමාණය ඉක්මවා තෙල් තැන්පත් වීම ෆැටි ලිවර් නම් වේ. බොහෝ අයට විවිධ මට්ටම්වලින් මෙම රෝගය ඇති බව සැලකෙන නමුත් ඒ බව ඔවුන් නොදනී.
අධික මත්පැන් පානය කිරීම ප්‍රධාන හේතුව වන අතර, එසේ නොවන අයගේද දැන් මෙම රෝගය ඇතිවෙමින් පවතී. එයට දියවැඩියාව, අධි ස්ථූලතාවය, අධි රුධිර පීඩනය, රුධිරගත මේදය වැඩි වීම, උදර, තට්ටම් ආදී ස්ථානවල මේද ස්ථරය සඳහා සිදු කරන රූපලාවණ්‍යමය සහ ශල්‍යමය ප්‍රතිකාර ප්‍රධාන හේතුන් ලෙස දැක්විය හැකිය. ඊට අමතරව කාලීනව භාවිත කරන ඖෂධ වර්ග ද හේතු විය හැකිය. අක්මාවේ තෙල් තැන්පත්වීම කාන්තාවන්ට වඩා පිරිමින්ට සුලබ වේ. මුලින්ම අක්මාවේ ශරීර විද්‍යාත්මක ව්‍යුහය (Anatomical Structure) සහ කාර්යභාරය සරලව විමසා බලමු. අක්මාව ශරීරයේ උදර කුහරයේ දකුණුපසට වෙන්නට, උරස් හා උදර කුහරය වෙන්වන සීමාවට පහළින් පිහිටා ඇත. එසේම, මෙය ශරීරයේ දෙවන විශාලතම ඉන්ද්‍රිය වේ. නීරෝගි අක්මාව ත්‍රිකෝණාකාර, කිලෝග්‍රෑම් 1.5ක් පමණ බර වන අතර රතු – දුඹුරු පැහැ වේ.
අක්මාව ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රියක් වන අතර එයින් විශාල කාර්යභාරයක් සිදුවේ. පරිවෘත්තීය ක්‍රියාවලට අවශ්‍ය හෝර්මෝන, ප්‍රෝටීන, ලවණ නිපදවීම, ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම ඉන් කිහිපයකි. තවද, මේද තැන්පත් වීමේ ප්‍රමාණය අනුව අදියර තුනක් (Grade I, II, III) යටතේ වර්ග කෙරේ. රුධිර පරීක්ෂා සහ ස්කෑන් පරීක්ෂණ මඟින් මේ පිළිබඳ තහවුරු කරගත හැකිය. එසේම මේද තැන්පත් වීම නිසි ප්‍රතිකාර, ව්‍යායාම සහ නියමිත ආහාර සහ විහරණ අනුගමනය නොකිරීමෙන් එක් අදියරක් තවත් අදියරකට පත්වීම සහ අවසනදී සිරෝසිස් තත්ත්වයට පත් වීම සිදු විය හැකිය.
වැළකෙන මඟ
මත්පැන් සහ දුම් පානය නතර කළ යුතුය. BMI අනුව ශරීරයේ බර පවත්වා ගැනීමට අදාළ ආහාර රටාවන් සහ ව්‍යායාම විධි අනුගමනය කළ යුතුය, මාංශ වර්ග අනුභවය අවමකළ යුතු අතර ගැඹුරු තෙලේ බදින ලද ආහාර, සංතෘප්ත මේද වර්ග අඩංගු (ෆ්‍රෙන්ච් ෆ්‍රයි, ඩෙවල් වර්ග, සෝස් වර්ග) ආහාරවලින් වැළකිය යුතුය. කේක් පුඩිං සහ වටලප්පන් වර්ග, අයිස් ක්‍රීම්, සියළුම කිරි ආහාර වර්ග, සීනි සහ පැණි රස ආහාර භාවිතය අවම කිරීමට කටයුතු කළ යුතුය. සුදු සහල් බත් සහ බේකරි ආහාර (පාන් පිටි නිෂ්පාදන ආහාර) අවම කළ යුතු වන අතර ආහාර දිරවීමට ඍජුවම බලපාන මානසික සාධක වන ක්‍රෝධ, ඊර්ෂ්‍යාව, ශෝක, කාංසා වැනි මනෝභාවයන් ගෙන් ද මිදිය යුතුය, ප්‍රමාණවත් රාත්‍රී නින්දක් ලැබිය යුතුමය.
ප්‍රතිකාර
ඇතැම් අය BMI තුළ සිටියත්, ශරීර ප්‍රමාණයෙන් කෙසඟ වුවත් මෙම තත්ත්වයෙන් පෙළිය හැකිය. අක්මාවේ තෙල් තැන්පත් වීම පළමු අවස්ථාවේ පවතී නම් ආහාර රටාව සහ ව්‍යායාම මඟින් සුව කරගත හැකිය. වර්තමානයේ ඉතා ජනප්‍රිය හීන්බෝවිටියා කැඳ හෝ කොළකැඳ පානයෙන් පමණක් මේ රෝගයේ තුන්වන අදියර සුව කර ගැනීම සිදු කරගත නොහැකි බව කිව යුතුය. දෙවන සහ තුන්වන අවස්ථාවන් සඳහා නිසි රෝග පරීක්ෂාවක් සිදුකර, නිසි ආහාර විහරණ රටා සහිතව ආයුර්වේද ඖෂධ ලබා ගැනීමෙන් සති 3 – 6ක කාලයක් තුළ සම්පූර්ණ සුවය ලබා ගත හැකිය.
උපදෙස් -රජයේ ආයුර්වේද වෛද්‍ය
ඊ.එම්.ඊ.එස්. අලහකෝන්
ඉරෝෂා දීපානි