Home » දියවැඩියාවට පෙර-වදනක් !

දියවැඩියාවට පෙර-වදනක් !

by sachintha
March 24, 2025 4:27 pm 0 comment

සරලවම ගත්විට දියවැඩියා රෝග තත්ත්වය ලෙස හඳුනාගනු ලබන්නේ යම්කිසි කාලයක් මුළුල්ලේ (නිදන්ගතව) පැවත එන අග්න්‍යාශය(Pancreas) මූලික කොටගත් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ සාමාන්‍ය ක්‍රියාපටිපාටි පරිවෘත්තිය ක්‍රියා) වලින් ඔබ්බට සිදුවන්නාවූ අසාමාන්‍ය (එසේත් නැතිනම් රෝගී) තත්ත්වයකි.

එය තවදුරටත් විස්තර කරනවා නම්, නිරෝගී පුද්ගලයකුගේ, ආහාර මගින් රුධිරයට අවශෝෂණය කරගත්තා වූ සීනි/ග්ලූකෝස් ප්‍රමාණය අග්න්‍යාශයෙන් නිපදවනු ලබන ඉන්සියුලින්(Insulin) හෝමෝනය මඟින් අගුළු – යතුරු යන්ත්‍රණයක් ලෙස (සෛලය යනු අගුළ නම් , ඉන්සියුලින් යනු යතුර ලෙස සිතා ගනිමු)

කටයුතු කර ශරීරයේ සෛලවලට ග්ලූකෝස් හරහා ශක්තිය ලබාදීමට කටයුතු කරයි. එහෙත් දියවැඩියා රෝගී තත්ත්වයේදී සරලවම සිදුවන්නේ අග්න්‍යාශයෙන් නිපදවූ ඉන්සියුලින් ප්‍රමාණය(යතුරු) ,ශරීරයේ ඇති සෛල(අගුළු) සියල්ල හා බැඳී (අගුළු විවෘත කරදී) ඒ හරහා, ග්ලූකෝස් සෛල තුළට ගොස් ශක්තිය නිපදවීමට ඉඩකඩ ලබාදීමේ නොහැකියාවයි.

එම තත්ත්වය යටතේ රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය සෛලවලට යා නොහැකිව රුධිරයේම පවතින අතර (අප ලබාගත් ආහාරවල අඩංගු කාබෝහයිඩ්‍රේට්/පිෂ්ටය ප්‍රමාණය අනුව) එය ප්‍රමාණාත්මක වශයෙන් අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකිය. මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාත්මකව Hyperglycemia (හයිපර් ග්ලයිසීමියා) ලෙස හැඳින්වේ.

මෙයාකාරයෙන් නිරතුරුවම ඉහළ යන/ඉහළ ගොස් පවතින අධික රුධිරගත සීනි ප්‍රමාණය මඟින් ශරීර අභ්‍යන්තරයේ ඇති අනෙකුත් ඉන්ද්‍රියයන් (හදවත, රුධිර නාළ, ඇස්, වකුගඩු , ස්නායු)වලට හානි පමුණුවයි. රෝග විනිශ්චයට අදාළ පරීක්ෂණ , එම අගයන් පිළිබඳ සවිස්තරාත්මකව ඉදිරියේදී හඳුනා ගනිමු.

දැන් ඔබට වැටහෙනවා ඇති දියවැඩියාවේදී සරලවම සිදුවන්නේ.., ශරීරයට හරියාකාරව රුධිරගත සීනි/ග්ලූකෝස් ප්‍රමාණය නියාමනය කර ගැනීමේ නොහැකියාව බව. මීට ප්‍රධානතම හේතුසාධකය ලෙස ශ්‍රාවය වූ ඉන්සියුලින් හෝමෝනයේ මඳ බව (Insulin insufficiency) හෝ නිපදවූ ඉන්සියුලින්වලට දේහයේ සෛල ප්‍රතික්‍රියා නොදැක්වීම (Insulin resistance) හඳුනාගත හැකිය.

සවිස්තරාත්මක කරුණු ඉදිරි ලිපි හා සබැඳෙන බැවින් අවසාන වශයෙන් දැනට වෛද්‍ය විද්‍යාත්මකව හඳුනාගෙන ඇති දියවැඩියා ප්‍රභේද 10ක් වන අතර ප්‍රධාන වූ ප්‍රභේද තුනත් ඇතුළුව සෑම ප්‍රභේදයක් පිළිබඳවම වැඩි විස්තර ඉදිරි ලිපි හරහා බලාපොරොත්තු වන්න. ඒ සරලව මෙසේය.

1. Type 1 Diabetes

(අග්න්‍යාශයික ඉන්සියුලින් නිපදවීමේ නොහැකියාව) 2.Type 2 Diabetes(ලොව බහුල වශයෙන්ම දැකිය හැකි දියවැඩියා ප්‍රභේදය මෙයයි. රුධිරගත ඉන්සියුලින් සාන්ද්‍රණයට ශරීරයේ සෛල ප්‍රතික්‍රියා නොදැක්වීම නිරීක්ෂණය කළ හැකියි. 3.Gestational Diabetes

(ගර්භණී සමයේදී සිදුවන හෝමෝන වෙනස්කම් නිසා ඇතිවිය හැකි තත්ත්වයකි.) 4.Monogenic Diabetes

ජානමය විභේදන/විකෘති තත්ත්වයන් නිසා ඇතිවිය හැකිය. 5.Autoimmune Diabetes

ශරීරය තුළින්ම ශරීරයේ සෛල ප්‍රතික්ෂේප කිරීම හරහා ඇතිවිය හැකි තත්ත්වයකි.

6.Type 3c Diabetes

අග්න්‍යාශයට සිදු වූ යම්කිසි හානියක් නිසා ඇතිවිය හැකිය. 7. Secondary Diabetes

ද්විතීක රෝගී තත්ත්වයක් නිසා ඇති විය හැක. 8. C-F-R Diabetes අග්න්‍යාශයික ගෙඩි වැනි තත්ත්වයක් යටතේ දැකිය හැකිය. 9. Steroid induced Diabetes

ස්ටෙරොයිඩ කාණ්ඩයේ බෙහෙත් භාවිතය නිසා ඇතිවිය හැකිය. 10. Diabetes insipidus මෙම තත්ත්වය රුධිරගත සීනි මට්ටමට අදාළ නොවේ. ශරීරයේ ආරාඛිත්තිය ක්‍රියා(Fluid balance) හා සම්බන්ධයි.

වෛද්‍ය

ඩී. එම්. අමරසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT