Home » අය-වැය රොනී සහ අනුර

අය-වැය රොනී සහ අනුර

by sachintha
March 24, 2025 4:00 pm 0 comment

“පුරා අවුරුදු විස්සකට වැඩි දීර්ඝ කාලයක් තිස්සේ නානාප්‍රකාරයේ ආර්ථික බැඳීම් හා සීමා කිරීම් නිසා ආර්ථික වෘද්ධියක්, ආර්ථික සංවර්ධනයක් අවහිර තත්ත්වයන්ටත්, අබලන් තත්ත්වයන්ටත් වැටුණායින් පසුව නිදහස්, නිවහල් ආර්ථිකයක් ගොඩනැංවීම එතරම් සුළුපටු වැඩක් නම් නොවෙයි.

පසුගිය ජනාධිපතිවරණය සහ මහමැතිවරණයට ඉදිරිපත් කළ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට මෙරට පුරවැසියෝ ඉහළින්ම අනුමැතිය දුන්හ. එම ප්‍රතිපත්ති ප්‍රකාශය මේ රටේ ක්‍රියාත්මක කිරීමේ තීරණාත්මක පියවර වන්නේ මෙම අය – වැය සම්මත කර ගැනීමයි. එක් අතකින් විවේචකයන් දක්වන්නේ මෙය ද අයි.එම්.එෆ්. අය – වැයක් බවයි. තවත් අය කියන්නේ රනිල් වික්‍රමසිංහලාගේ ලිබරල් ආර්ථික ක්‍රියාමාර්ග දිගටම අනුගමනය කිරීමට ඉදිරිපත් කළ අය – වැය ලේඛනයක් බවයි. මේ ආදී විවිධ විවේචන ඉදිරිපත් කරන බොහෝ දෙනෙක් පටු දේශපාලන කෝණයෙන් නොයෙක් පුවත් දියත් කළ ආකාරය දැකිය හැකි වේ. අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුවේදී අය – වැය විවාදය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයේ සීමිත පිරිසක් ජනතාව රැවටීමේ වොයිස්කට් ව්‍යාපෘතියක් බවට සැලසුම්සහගතව යොදා ගත්තෝය.

ආර්ථිකය දිශානතිය

මෙම සැලසුම්සහගත බවේ, ඉතාම කැත නින්දික කූටප්‍රාප්තිය සජිත් ප්‍රේමදාස පිලේ එම්.එස්. මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රදර්ශනය කළේය. 1983 කළු ජූලියේදී එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ඝාතකයන් දෙමළ අහිංසක පුරවැසියකු නිරුවත් කර දසවධ දුන් ඡායාරූපයක් ජ.වි.පෙ.ට බැර කිරීමට උත්සාහ කිරීමයි ඒ. මරික්කාර් මන්ත්‍රී ලුණු ඇඹුල් දමමින් කීවේ ජ.වි.පෙ. ආධ්‍යාත්මික නායකයා විසින් එම අහිංසක පුරවැසියාට දසවධ දෙන බවය.

ආර්ථිකය දිශානතිගත කිරීම මෙම පසුබිම මතකයේ තබා ගනිමින් අපේ රටේ ආර්ථිකය දිශානතිගත කිරීමේ ගුණාත්මක පියවර කවරාකාර ද යන්න කෙටියෙන් විමසා බැලීම මේ ලිපියේ මූලික අරමුණයි. 2022 අප්‍රේල් මාසයේ 12 වැනි දින ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් හැටියට නිල වශයෙන් නම් කළේ විගණනයෙන් 1977 නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කළ විවෘත ආර්ථිකය හේතුවෙන්ය. මෙම ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දෙමින් එවකට මුදල් ඇමති රොනී ද මැල් නොවැම්බර් 15 වැනිදා අය – වැය ඉදිරිපත් කළේය.

එම අය – වැය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගෙන පමා නොමැතිව එදින රාත්‍රියේ සිට ඇතැම් සංශෝධන ක්‍රියාත්මක කළේය. කපාපු පොල් අපනයන මිලෙන් 60%ක බද්දක් එදින මධ්‍යම රාත්‍රියේ සිට පැනවීය. රබර් අපනයන තීරුබද්ද ඉහළ දැමීම වැනි ක්‍රියාමාර්ග නිදර්ශනය. ඊට අමතරව විශේෂ අවධානය යොමු කළ යුතු වන්නේ ආර්ථිකයෙන් ව්‍යුහාත්මක පරිවර්තනයකට මුලපිරූ ආකාරය ගැන විමසා බැලීමය.

රොනී ද මැල් ඉදිරිපත් කළ අය – වැය ලේඛනයේ ආරම්භය මෙසේය. “ගරු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ විශිෂ්ට නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ මංගල අය – වැය කතාව ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබීම මගේ විශේෂ භාග්‍යයක් සහ ගෞරවයක් ලෙස මම සලකමි.”

ජාතික ජන බලවේගයේ මංගල අය – වැය ඉදිරිපත් කරමින් ජනාධිපති සහ මුදල් ඇමැති අනුර කුමාර දිසානායක ආරම්භය ගත්තේ මෙසේය. අපේ රජයේ පළමු ජාතික අය – වැය මේ සභාවට ඉදිරිපත් කිරීමට ලැබීම ගැන සතුටු වෙනවා.” බොරු පූච්චානම් කතා කිසිවක් මෙහි නැත. කිසිවෙකුට ප්‍රශස්ති නැත.

අර්බුදයේ මූලය

“අපට ලැබුණු අති විශාල ඡන්ද බලයත්, මේ රටේ මහජනතාව විසින් අප කෙරෙහි තබන ලද අකලංක විශ්වාසයත් නිසා, අපේ මාතෘ භූමියේ මහජනතාවගෙන් විශාලතම සංඛ්‍යාවකට විශාලතම යහපතක් සිද්ධ වන ආකාරයට අපට පුළුවන් හැකි සෑම ආකාරයෙකින්ම උපරිම සේවයක් අප විසින් ඉටු කළ යුතුව තිබේ.” එසේ සඳහන් කරමින් ආරම්භ කළ ආර්ථික ක්‍රියාවලිය වසර හතළිස් හතරක් තුළ හෙලන ලද ප්‍රපාතය පිළිබඳව මුදල් ඇමැති අනුර කුමාර දිසානායක අය – වැය කථාවෙන් හෙළිකළේ “ශ්‍රී ලංකාව 2022 වසරේදී නිදහසින් පසු එහි ගැඹුරුතම හා සංකීර්ණතම සමාජ – ආර්ථික හා දේශපාලනික අර්බුදයට මුහුණදුන්නා. අර්බුදය 2022 වසරේදී එහි දරුණුතම අවස්ථා පැමිණියත්, අර්බුදයට බලපෑ කරුණු ඓතිහාසික මෙන්ම ව්‍යුහාත්මකයි. දූෂිත පාලනයත්, අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තීන් සහ වගකීම්විරහිත රාජ්‍ය මූල්‍ය කළමනාකාරීත්වය මෙම අර්බුදයේ මූලයයි.” රට ගොඩගැනීමේ අය වැය ඉදිරිපත් කරන්නේ මෙවැනි පුළුල් හේතුඵල සම්බන්ධයන් හැඳින ගැනීමෙන් පසුවය. පවතින තත්ත්වය තවදුරටත් විග්‍රහ කරන්නේ “මෙම තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථික ක්‍රියාකාරකම්වල සාමාන්‍ය තත්ත්වය බිඳ වැටුණා. එය ව්‍යාපාරවල සිට කුටුම්බ දක්වා සියලු අංශ සහ සමාජ කණ්ඩායම් විසින් අත්විඳිනු ලැබුවා. ඉන්ධන, විදුලිය, අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ ඇතුළු භාණ්ඩ හා සේවා හිඟය හේතුවෙන්, රටේ ජනතාව විශේෂයෙන්ම කාන්තාවන්, ළමයින්, ආබාධ සහිත පුද්ගලයන් සහ වැඩිහිටි ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණදුන්නා” මෙන්න මේ ලෙස බංකොලොත් තත්ත්වයට පත්කළ ආර්ථිකය ක්‍රියාත්මක කිරීමට එදා 1977 දී මුලපුරමින් රොනී ද මෙල් මුදල් ඇමැති ප්‍රකාශ කළේ වෙනම දෙයක්ය.

“එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයෙහි සඳහන් පරිදි අපේ මාතෘ භූමියෙහි නිදහස්, නිවහල් ධර්මිෂ්ට සමාජයක් ගොඩනැංවීමට අපි ඇපකැපවී සිටින්නෙමු. නිදහස්, නිවහල් ආර්ථික පදනමක් නොමැතිව නිදහස්, නිවහල් සමාජයක් බිහි කළ නොහැකිය. මේ ආණ්ඩුවේ මංගල අය – වැය වශයෙන්

මේ අය – වැය කතාව මා ඉදිරිපත් කරන්නේ නිදහස් – නිවහල් ආර්ථිකයක් ගොඩනැංවීමේ පවිත්‍ර චේතනාවකින් යුතුවයි” වචනවල තිබෙන මේ අලංකාර පවිත්‍ර බව අවුරුදු 17ක් වූ එම පාලන කාලයේ දශමයක් හෝ ක්‍රියාත්මක කළේ නැත. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ආකාරයට පවිත්‍ර කතා කී රොනී ද මැල්ටම එම පාලනය පමණක් නොවේ එක්සත් ජාතික පක්ෂයත් … ඔහු යළි යළිත් පීලි පනින්නට පටන් ගැනීමෙන් එය පැහැදිලි වූයේය. අය – වැයේදී ඔහුට “රොනී ද මැල්” යන අන්වර්ථ නාමය පවා පටබැඳුණි. අන්තිමේදී රොනී ද මැල්ටත් එපා වී ඔවුන්ගේ බලලෝභී අරමුණු වෙනුවෙන් අත්තෙන් අත්තට පැනීම අපිට කිසිසේත්ම පුදුමයක් නොවේ. නමුත් රටකට සහ ඒ රටේ ජනතාවට ඔවුන් මෙන් පැන පැන යා නොහැකිය. ඔවුන් ඔවුන්ගේ පවිත්‍ර චේතනා ගැන කියන නිමේෂයේදීම අනෙක් අතට කියා තිබනේනේ එහි සම්පූර්ණ අනෙක් පැත්තය.

“පුරා අවුරුදු විස්සකට වැඩි දීර්ඝ කාලයක් තිස්සේ නානාප්‍රකාරයේ ආර්ථික බැඳීම් හා සීමා කිරීම් නිසා ආර්ථික වෘද්ධියක්, ආර්ථික සංවර්ධනයක් අවහිර තත්ත්වයන්ටත්, අබලන් තත්ත්වයන්ටත් වැටුණායින් පසුව නිදහස්, නිවහල් ආර්ථිකයක් ගොඩනැංවීම එතරම් සුළුපටු වැඩක් නම් නොවෙයි.

බරපතළ ශල්‍යකර්මය

ඒ සඳහා බරපතළ ශල්‍යකර්මයක් කළ යුතුව තිබේ. ශල්‍යකර්මය ලෙඩා නොමරා සාර්ථකව කළ යුතුව ඇත. අපේ ආර්ථිකය නිදහස් කර ගැනීම සඳහා මිල මුදල් හා දුක්කම්කටොලු වශයෙනුත් සෑහෙන කාලයක් අපේ මහජනතාවට දැරීමට සිදුවන බර ද මම අඩුවෙන් තක්සේරු නොකරමි. පසුගිය ආණ්ඩුව විසින් මේ රට තල්ලු කර දමා තිබූ පරිහානියේ මහා ප්‍රපාතයෙන් ගොඩගත හැකි ඒකායන මාර්ගය එයයි.”

රොනී ද මැල් එදා මුදල් ඇමැති හැටියට කළ කතාවෙන් ඒ උපුටා ගත් කොටස ඉතාම හොඳින් තේරුම්ගත යුතුය. ඔහු ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙන්නේ 1977ට පෙර අවුරුදු විස්සක් අනුගමනය කළ ආර්ථික ක්‍රියාවලිය අසාර්ථක බවය. ජනාධිපති අනුර කුමාර දිසානායක ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙන්නේ නිදහසින් පසු ගැඹුරුතම හා සංකීර්ණම ආර්ථික මෙන්ම දේශපාලන අර්බුදයට 2022 දී රටත් ජනතාවත් මුහුණ දුන් බවය. රොනීද මැල් වසර විස්සක කාලයක් ගැන කියා තිබේ. එහෙමනම් එම වසර විස්සක කාලයෙන් එතැන් සිට 2024 දක්වා වසර 46ක කාලයක් ගත්විට වසර 06ක කාලයක් සටන් කර තිබෙන්නේ ආර්ථික, දේශපාලනික අර්බුදයක් කරාම බව ඉතාම හොඳින් සනාථ වේ. රොනී ද මැල් එදා සඳහන් කර තිබෙන්නේ බරපතළ ශල්‍යකර්මයක් සිදු කළ යුතු බවත්, ලෙඩා නොමරා එය සිදු කළ යුතු බවත්ය. එතැන් සිට 2024 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ එවැනිම තමන්, සංවිධාන ඉදිරියේ මෙන්ම රටවල් ඉදිරියේ දණින් වැට්ටූ රටක් වර්තමාන ආණ්ඩුවට බාර ගැනීමට සිදුවිය. අන්න එහෙමනම් ඒ තත්ත්වයෙන් ගොඩගැනීමට රැඩිකල් පම්පෝරිවලින් නොහැකිය.

ජනතාවට හැකි උපරිම සහන ලබාදෙන අතර ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ මැති ඇමැති වියදම් ඉතාම අවම මට්ටම දක්වා කපා හැර තිබේ. එදා රොනී ද මැල් සහ මෙදා අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ අය – වැය සම්බන්ධයෙන් පවතින්නේ අහසට පොළොව මෙන් මෙවැනි පරතරයක්ය.

“ආර්ථික පරිහානියේ ඝනාන්ධකාරයක මඩගොහොරුවක් තුළ සදාකාලිකව ගත කිරීමට අපට පුළුවන්කමක් නැහැ. ජාත්‍යන්තර හිඟන්නන් වගේ සදාකාලිකවම ලෝකය වටා හිඟමනේ යන්න අපට බැහැ. දේශීය සහ විදේශීය වශයෙන් මහමෙර උසට ණයතුරුස් ඉහළ යද්දී එක තැන පල්වෙවී ඇති දුප්පත්කමේ විෂම තත්ත්වය තුළින් අප වහා ඉවතට පැනිය යුතුයි.” රොනී ද මැල්ගේ තවත් අලංකාර වචන ටිකක් ඒ. ජාත්‍යන්තර හිඟන්නන් වීමෙන් එළියට ආවා ද? ආර්ථික පරිහානියේ ඝනාන්ධකාරයක මඩ වගුරෙන් එළියට ආවා ද? අපි කවුරුත් දන්නා උත්තරය “නෑ” යන්නයි. ඒ පමණක් නොවෙයි ඉතාම දුක්ඛිත, බංකොලොත් තත්ත්වයටත් ඇද දෑමීය. මේ බව දත්ත කිහිපයක් ඇසුරින් පැහැදිලි කරගැනීම අත්‍යවශ්‍යය. 1978 වර්ෂය වෙනුවෙන් ණය, පොලිය ගෙවීමට ඇස්තමේන්තු කළ වියදම රුපියල් කෝටි 21ක්ය. 2024 දී එය රුපියල් කෝටි දෙලක්ෂ හැත්තෑහතරදහස් නවසියඅටක් (රු.කෝටි 274908) ය. මෙම වසරේදී එය රුපියල් කෝටි දෙලක්ෂ අනූපන්දහසක් (රු.කෝටි 295000)ය. ඉතින් රොනී ද මැල් “පනීද මැල්” වී නතර වුවත් රටේ ජනතාවට හුස්ම ගන්නවත් ඉතිරි කර නැති බව පැහැදිලිය. 1978 දී ණය ආපසු ගෙවීමට වියදම රුපියල් දොළොස් කෝටි පනස් ලක්ෂයක්ය. 2024 දී එය රුපියල් කෝටි හාරලක්ෂ හැට තුන්දහසක්ය. මෙම වසරේදී ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව රුපියල් කෝටි එක්ලක්ෂ හැටදහසක් (රු.කෝටි 160000) ය. අවුරුදු හතළිස් හයකට පසුව රජයේ මුළු ආදායම මෙන් සියයට 150ක් ණය වාරික හා පොලී ගෙවීමට වැයවන තත්ත්වයක් 2024 දී පැවැතිණි. මෙම වසරේදී ණය වාරික සහ පොලිය ගෙවීමට රුපියල් කෝටි 455000ක් වැය වේ යැයි ගණන් බලා ඇත. පසුගිය වසරේදී එය රුපියල් කෝටි 737900 ඉක්මවා තිබිණි. මේ වසරේ දී ණය වාරික ආපසු ගෙවීමේ බර මෙපමණකට සැහැල්ලු කරගතහැකි වීම නිසා මෙම සහනදායී තත්ත්වය ඇති වී තිබේ.

පොදු අරමුණ

මේ ආණ්ඩුවට පුරවැසි අය – වැය ලේඛනයක් ඉදිරිපත් කර තිබෙන්නේ පවතින මහා මකරකටෙන් ගොඩගැනීමේ පුළුල් මෙහෙයුමක් දියත් කරවීමේ සැලසුම් සමඟය. එය කොතරම් අභියෝගකාරීදැයි යන්න පැහැදිලි වන්නේ 2023 අවසන් වන වන විට ආසන්න වශයෙන් රටේ මුළු ණය බර රුපියල් කෝටි 29 ලක්ෂයක් වී රජයේ මුළු වත්කම් රුපියල් කෝටි පන්ලක්ෂයකට ආසන්න වී තිබීමෙන්ය. රුපියල් කෝටි 24 ලක්ෂයකට සිදුවූයේ කුමක්ද? අති බහුතර පුරවැසි දේශපාලකයන් ප්‍රමුඛව චෞර වළල්ල විසින් කොල්ලකා තිබේ. කෝප් කමිටුවේ පරීක්ෂණවලින් ඉතා සීමිත ප්‍රමාණයක් පිළිබඳව හෙළිවෙමින් තිබෙන්නේය. ඒ අතර රටත් ජනතාවත් ගොඩගන්නා අය – වැය මූලාරම්භය දැන් සනිටුහන් කර තිබේ.

ජනතාවාදී ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඒ බව අවධාරණය කර තිබෙන්නේ මතු දැක්වෙන ආකාරයෙන්ය. “අපගේ රජයේ මහජන නියෝජිතයන් හෝ අප විසින් පත් කළ නිලධාරීන් සියලු දෙනාම තුළ ඇත්තේ පොදු අරමුණක්. ඒ වගේම වෙනසක් කිරීමට අප සමග එක්වූ දහස් ගණනක් වෙහෙස මහන්සි වී වැඩකරන දේශප්‍රේමී රාජ්‍ය සේවකයන්ට ඇත්තේ එවැනි පොදු අරමුණක්. අප කිසිවිටෙකත් එම වගකීමෙන් සහ ප්‍රතිපත්තිවලින් බැහැර නොවෙන අතර කුමන හේතුවකටවත්

මෙරට පුරවැසියන්ගේ අපේක්ෂාවන් පාවා නොදෙන බවට සහතික වෙනවා. ඒ ආදර්ශය නායකත්වයෙන්ම ලබා දෙනවා. සියලුම ශ්‍රී ලාංකිකයන් එක්ව මේ රට ඉහළින් ඔසවා තබමු. සියලු දෙනා එක්ව සමෘද්ධිමත් වෙමු. අප සියලු දෙනාත් එකිනෙකා ගැන ගෞරවනීය වෙමු. මෙම ලස්සන පූජනීය දූපත අපේ මාතෘ භූමිය වීම ගැන ආඩම්බර වෙමු.”

නව ඇරඹුමක මුල පිරීම මෙලෙස සියලු දෙනා වෙනුවෙන්මය. “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” සැමදෙනාටමය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT