තමාට ලැබෙන මන්ත්‍රී විශ්‍රාම වැටුප අනවශ්‍ය බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ලිපියක් භාර දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අය-වැය අවසන් දින විවාදයට එක්වෙමින් සඳහන් කළේ ය.
මෙය පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසි දිනක නොවූ සිදුවීමකි. මෙතෙක් පැවති කිසිදු පාර්ලිමේන්තුවක ජනාධිපතිවරයකු තමාට විශ්‍රාම වැටුප අනවශ්‍ය බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට නැත. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු යැයි මීට පෙර රවී කරුණානායක මන්ත්‍රීවරයා ද පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුව හමුවේ කරුණු දක්වා තිබිණි. එහෙත් මේ පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දුව ගෙන තිබුණේ වර්තමාන ආණ්ඩුව සහ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිස පමණකි. සැබැවින්ම මෙය පැසසිය යුතු කාරණයකි.
මන්ත්‍රී ධුරය යනු වරප්‍රසාදිත ජන සමාජයේ අංගයක් බවට පත්කරගනිමින් සුරසැප විඳි ජන සමාජය හමාර බවට වන සංකේතීය සාධකය ජනාධිපතිවරයා විසින් සමාජගත කළේ එලෙසය. මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ ජනාධිපතිවරුන් මන්ත්‍රී වැටුප මෙන්ම ජනාධිපති වැටුප ද ගෙන සුරසැප ගෙන නිශ්ශබ්දව සිටි බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. ඒ ආකාරයට වැටුප් දෙකක් ගත් ජනහිතකාමී මන්ත්‍රීවරුන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කළ බව ජනපතිවරයා සඳහන් කළේ උපහාසාත්මක ස්වරූපයකිනි. එනිසා මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව ජනපතිවරයා එහිදී සඳහන් කළේය. මේ අතර ජනාධිපති වරප්‍රසාද පනත සංශෝධනය කර, එහි වියදම් කප්පාදු කරන බවට ද ලක්‍ෂ දහයකට පැවති මන්ත්‍රී රක්ෂණය එළඹෙන අගෝස්තු මාසයේ සිට ලක්ෂ දෙක දක්වා පහත දමන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබිණි.
වරප්‍රසාද ලත් සුපිරි පන්තියේ ප්‍රභූ දේශපාලනය තවදුරටත් මේ ජන සමාජයේ පැවතිය යුතු නැති බව ගතවුණු ජනපතිවරණයේදී සහ මහමැතිවරණයේදී දුන් ජනවරම කියවා ගැනීමෙන් පැහැදිලි වන කාරණයකි.
නිදහස් අධ්‍යාපනයේ ඉහළ ප්‍රතිඵල ලබා රාජ්‍ය සේවයට ඇතුළත් වන අයකුට විශ්‍රාම වැටුපක් සඳහා හිමිකම් කීමට වයස අවුරුදු 55 හෝ 60 සම්පූර්ණ විය යුතු වුවත් මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුපක් ලබා ගැනීම සඳහා මාස හැටක සේවා කාලය ප්‍රමාණවත් වීම පුදුමසහගත කාරණයකි. 1977 අංක 1 දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප්වලට අදාළ පනත හා එහි සංශෝධන අනුව මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් පරිමා තීරණය වේ. එක් එක් මන්ත්‍රීවරුන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර කාලය නිම කළ විට, ඒ වනවිට තමන් ලැබූ මන්ත්‍රී ධුරයට නියමිත වැටුපෙන් තුනෙන් එකක ප්‍රමාණයක් සමඟ අනුමත ජීවන වියදම් දීමනාව විශ්‍රාම වැටුප ලෙස ලැබේ.
වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන අයකුගේ අවම මන්ත්‍රී වැටුප රුපියල් 54,285කි. එයින් තුනෙන් එකකට ආසන්න අගය ලෙස රුපියල් 18,095ක් ද දැනට දෙන විශ්‍රාම වැටුප් හිමියන්ගේ ජීවන වියදම් දීමනාව වූ රුපියල් 37,175ක මුදල ද එකතු වූ විට පළමුවරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකුගේ අවම විශ්‍රාම වැටුප රුපියල් 55, 270ක් වනු ඇත.
2024 පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවේ මූල්‍ය අංශයේ ගිණුම් වාර්තාවලට අනුව හිටපු මන්ත්‍රීවරුන් 225 දෙනාට විශ්‍රාම වැටුප් සඳහා ගෙවා ඇති මුදල රුපියල් කෝටි 19කි. මේ සා විශාල ධනස්කන්ධයක් වැය කරමින් මේ පිරිසට විශ්‍රාම වැටුප් ගෙවිය යුතු ද යන පැනය යළි යළි ජන සමාජයෙන් ඇසිය යුතු ය. ජනතා මුදල් මේ ආකාරයට අවභාවිත කළ යුතු දැයි ප්‍රශ්න කළ යුතුය. ඔවුන් පාර්ලිමේන්තුව නියෝජනය කළ කාලසීමාවට අදාළ වැටුප පාර්ලිමේන්තුවෙන් ලබාගෙන තිබේ. ඊට අමතරව වසර 60ක සේවා කාලයකට ජනතා බදු මුදලින් විශ්‍රාම වැටුප් ද ගෙවිය යුතු ද? ජන සමාජය හමුවේ අපට ඇසීමට ඇති ප්‍රශ්නය එයයි.
පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු ජනාධිපතිවරුන් ස්වකීය ජනපති වැටුපට අමතරව මන්ත්‍රී විශ්‍රාම වැටුප ද ගැනීම කනගාටුදායක කාරණයකි. එමෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පිහිටෙන් පාර්ලිමේන්තුවට පැමිණි කරුණා අම්මාන් සහ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් පිල්ලෙයාන්ට ද පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපක් හිමි වේ. මේ අතර, ධර්ම රාජ්‍යයක් නිර්මාණය කිරීම උදෙසා පාර්ලිමේන්තුවට ගිය හිමිවරුන් ද මන්ත්‍රී විශ්‍රාම වැටුප ලැබීම කවර නම් වූ ධර්ම රාජ්‍ය ප්‍රතිපත්තියකට අයත් දැයි අපට නොතේරේ. එමෙන්ම පැවති පාර්ලිමේන්තුව වරක් පමණක් නියෝජනය කළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද, නළු නිළියන්ට ද, රූ රැජනන්ට ද, මාධ්‍යවේදීන්ට ද විවිධ ස්වරූපයේ වියතුන්ට ද විශ්‍රාම වැටුප් හිමි වන බව සත්‍යයකි.
මේ පිරිස් මෙපමණ කලක් නඩත්තු කරනු ලැබුවේ ජනතා බදු මුදලිනි. ආහාරපාන මිල දී ගැනීමේදී සහ තවත් විවිධ සමාජ කටයුතුවලදී අය කර ගත් බදු මුදල් මෙලෙස ප්‍රභූ දේශපාලකයන් නඩත්තුවට යොදා ගැනීම අතිශයින් වැරදිසහගත ය. එනිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව පිළිබඳ පනත් කෙටුම්පත ඉතා කඩිනමින් පාර්ලිමේන්තුව හමුවේ සම්මත කරගත යුතුව ඇත. ප්‍රගතිශීලී ජනතා අදහස් දරන කිසිවකුට එයට විරුද්ධ විය නොහැකි ය. ජනතාවට සේවය කිරීමට පැමිණි අය ජනතා බදු මුදලින් නඩත්තු වීම අනුමත කළ නොහැකි බව අපි යළි ලියා තබමු.
ගෙවුණු මාස 6ක කාල සීමාව පිළිබඳ අතෘප්තිකර මනසින් කතාබහ කරන බොහෝ දෙනකුට මේ කාරණා අමතක වීම කනගාටුදායක ය. සමාජයකට ඇති බරපතළම හානිදායක කාරණය, නරක මිනිසුන්ගේ ඝෝෂා කිරීම නොව, හොඳ මිනිසුන් නිශ්ශබ්ද වීම බව අප අසා තිබේ. එනිසා සමාජය වඩාත් යහපත් දිශාවකට රැගෙන යෑමේ මෙම කාරණා සමාජගත කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ජනතා සංවාදය වඩාත් වැදගත් බව ලියා තැබිය යුතු ය. ප්‍රගතිශීලි සහ බුද්ධිමත් ජනතාවගේ පසුගාමී සංකල්පීය හැසිරීම, සහභාගිත්වය සහ භාවිතය එතරම් යහපත් නොවන බව ද ලියා තැබිය යුතුව ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද සහ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමේ පනත් කෙටුම්පත සම්මත කරන දිනය වැඩි ඈතක නොවනු ඇති බවට අපි විශ්වාසය පළ කරමු. ඒ දිනය ජනතා අපේක්ෂා ඉටු කරවන සුවිශේෂ දිනයක් බව සඳහන් කළ යුතුමය.
එබැවින් ජනපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාවට අපගේ ප්‍රශංසාව පළ කර සිටිමු.