Home » සෑම ගමකටම විදේශ රැකියා අවස්ථා

සෑම ගමකටම විදේශ රැකියා අවස්ථා

by chanaka
March 22, 2025 9:33 am 0 comment

වඩාත් නිපුණතාවයක් සහිත ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීම නව රජයේ අරමුණ බවත්, රැකියා අවස්ථා සියලුම ගම්මාන වලට සමානව ලබාදීමට පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි.

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්‍රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත් ප්‍රථම කණ්ඩායම පසුගියදා (19) දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම කණ්ඩායමට රැකියාලාභීන් 50 දෙනෙකු ඇතුළත් විය.

පසුගිය වසරේ නොවැම්බර් මස පැවති ප්‍රායෝගික පරීක්ෂණවලින් තෝරාගත් මෙම පිරිස මේ වසරේ ජනවාරි මසදි ඊශ්‍රායලයට විදේශ ශ්‍රමිකයන් බඳවා ගන්නා ක්‍රමය වන ලොතරැයි ඇදීම මගින් තෝරාගෙන තිබේ. වසර 5 ක කාලයක් සඳහා රැකියා කිරිමට මේ යටතේ අවස්ථා හිමිවේ.

මෙම පිරිසට ගුවන් ගමන් බලපත්‍ර ලබාදිම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී එහි සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

එහිදී අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා සඳහන් කළේ විගමනික ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන විදේශ විනිමය රටේ සංවර්ධනයට විශාල දායකත්වයක් ලබාදෙන බවත් එමඟින් ආර්ථික දේහය පෝෂණය කිරීමට සමත් වන බවත්ය. වඩාත් නිපුණතාවයක් සහිත ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීම නව රජයේ අරමුණ බවත්, රැකියා අවස්ථා සියලුම ගම්මාන වලට සමානව ලබාදීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය. එහිදී කිසිදු දේශපාලන මැදිහත්විමක් නොකොට තෝරා ගැනීමේදී පූර්ණ විනිවිද භාවයකින් යුතුව ඔවුන් තෝරා ගැනීමට අවශ්‍ය විධි විධාන යොදා ඇති බව ද ඔහු කියා සිටියේය. එහිදී කිසිදු පුද්ගලයෙකුට අසාධාරණයක් නොවන අයුරින් මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව ද කෝශල වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය. මේ වසරේදි විදේශ රැකියා සදහා ශ්‍රමිකයන් 344,000 විදේශ ගත කිරිමට බලාපොරොත්තුවන බව ද ඔහු සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT