අද මාර්තු 22, ලෝක ජන දිනයයි. ජීවයේ පැවැත්ම රඳා පවතිනුයේ ජලය මතය.
මිනිසාට ආහාර නොමැතිව මසකට වැඩි කාලයක් ජීවත්වන්නට හැකි නමුත් ජලය නොමැති ව ජීවත් විය හැක්කේ දින තුනක් තරම් කෙටි කාලයක් පමණි. ඒ තරම් සුරක්ෂිතභාවයක් සනිටුහන් කරමින් ජීවයේ පැවැත්ම සනාථ කරමින් ජලය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ හා එහි වැදගත්කම ලෝක ප්‍රජාවට සමීප කරවීම පිණිස 1992 දී රියෝ ද ජැනයිරෝ හි එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී යෝජනා කළ අතර එතැන් සිට් වාර්ෂිකව මාර්තු 22 දින ලෝක ජල දිනය ගෝලීයව සමරනු ලබයි.
පිරිසිදු පානීය ජලය හා සනීපාරක්ෂාව සඳහා ඇති අයිතිය මානව අයිතිවාසිකමක් ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2010 දී පිළිගෙන ඇති පසුබිමක ලොව පුරා අවම වශයෙන් බිලියන 2.1 ජනතාවක් දේශගුණික විපර්‍යාස, යුද්ධය, ප්‍රාදේශීය ගැටුම් වැනි හේතුවෙන් ආරක්ෂිත ජලය නොමැතිව ජීවත් වේ.
සෑම දිනකම වයස අවුරුදු හතට අඩු ළමුන් 700 කට අධික පිරිසක් අනාරක්ෂිත ජලය හා දුර්වල සනීපාරක්ෂාව හේතුවෙන් රෝගාබාධ වලින් මිය යන අතර එක්සත් ජාතීන් විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනයන්ට අනුව බිලියන හතරක පමණ ජනතාවක්; ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් වසරේ අවම වශයෙන් මාසයක් තුළ දැඩි නියඟයකට මුහුණ දෙනු ලබයි. වර්තමානයේ පුද්ගලයින් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති ව පීඩා විඳී.
සියලුම ජීව පද්ධති වල පැවැත්ම සඳහා ජලය අත්‍යවශ්‍ය නමුත් මෙලෙස පිරිසිදු පානීය ජලය නොමැතිව පීඩා විඳින අතර 2035 වන විට ලොව පුරා මිලියන 400 ක ජනතාවක් උග්‍ර ජල හිඟයෙන් අවතැන් වන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විශ්වාස කරයි.
2025 වසරේ ලෝක ජල දිනයේ තේමාව “ගැලැසියර් සංරක්ෂණය” යන්නයි.
මේ හරහා පරිසරයට භූගත ජලය කෙතරම් වැදගත් ද යන්න මෙහිදී අවධාරණය කෙරෙන අතර ජලය හා දේශගුණික විපර්යාස අතර ඇති සම්බන්ධය කෙරෙහි ද අවධානය යොමු වී තිබේ.
සෑම ප්‍රජාවකට ම පිරිසිදු ජල සැපයුමක් සඳහා ප්‍රවේශය සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ගෝලීය ජල ආශ්‍රිත ගැටලු පිළිබඳ දැනුම්වත් කිරීමට කැප වූ මෙම දිනයේ දී දෛනික කටයුතු වලදී ජල පරිභෝජනය අවම කිරීමට කිරීම, අපජලය ප්‍රතිචක්‍රීකරණය, වැසි ජලය ග්‍රහණය කර ගැනීම, වාරි පද්ධති නිර්මාණය, වනවගාව කෙරෙහි ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සවිබල ගැන්වීම මත තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමටත් ඒ හරහා තිරසර ජල ප්‍රතිපත්ති සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම මෙන්ම ඔබ ජල පරිභෝජනය කරන හා කළමනාකරණය කරන ආකාරය වෙනස් කිරීමෙන් වෙනසක් ඇති කිරීමට හැකි වන්නේ ය.
ලෝක බැංකුවේ පුරෝකතනවලට අනූව ලෝකය, 2030 වන විට ඉල්ලුම සහ පවතින ජල සංචිත අතර පරතරයකට මුහුණදෙනු ඇත.
මෙරට ජනගහනයෙන් ද, පිරිසිදු පානීය ජල සැපයුමක් හිමිවන්නේ, 62 % කට ආසන්න පිරිසකට වන අතර අවිධිමත් සංවර්ධනය හා වන හායනය හේතුවෙන් ජල පෝෂිත ප්‍රදේශ තර්ජනයකට ලක්වීම, ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රබල අභියෝගයකි.
මෙවර ජල දිනයේ තේමාව වන ග්ලැසියර සංරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි දායකත්වය වන්නේ පාරිසරික උෂ්ණත්වය පාලනය කිරීමට සෘජුව මැදිහත් වීමයි.
පිරිසිදු ආරක්ෂිත ජලය සෞඛ්‍යමත් යහපැවැත්ම වැඩි දියුණු කරන අතර පිරිසිදු ආරක්ෂිත පානීය ජලය හා සනීපාරක්ෂාව මානව අයිතිවාසිකමක් ය. ඒ සඳහා වගවීම හා වගකීම මිනිසා සතු වන්නකි.
පරිසර අමාත්‍යංශයේ ජල සම්පත් මණ්ඩලයද මෙවර ජල දිනයට අදාලව විශේෂ සැමරුම් වැඩසටහනක්ද පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි අද (22)පෙරවරුවේ සංවිධාන කර තිබේ.