
බස්නායක මහතාගේ රබර් වගාව
වසරේ වැඩි කාලයක් පෑවිල්ලෙන් පීඩා විඳින අනුරාධපුර දිස්ත්‍රික්කය තෙත් කලාපයට ආවේණික භෝග වගාව සඳහා දුෂ්කර ප්රදේශයකි. එහෙත් මහවැලි ව්‍යාපාරයත් සමඟ ප්‍රදේශයේ ගොවීන් විවිධ අත්හදා බැලීම් වෙත යොමුව තිබේ. එවැනි පසුබිමක අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ සර්ථකව සිදුකළ රබර් වගාවක මුල්වරට කිරී කැපීම ඉකුත්දා සිදුකෙරිණි.
අනුරාධපුර නගරයට කිලෝමීටර කිහිපයක් මෙපිටින් පිහිටි තලාව ප්‍රදේශයේ දී මෙම සුවිශේෂී කටයුත්ත සිදුකළේය. තලාව, කුරුඳුවැව ගම්මානයේ එස්. බස්නායක ගොවි මහතා විසින් අක්කර හතරක භූමි ප්‍රමාණයක ඉතා සාර්ථකව වගා කරනු ලැබ ඇති රබර් වගාවේ කිරි කැපීම මෙසේ ආරම්භ කළේය. එතෙක් පැවැති සම්ප්‍රදායෙන් බැහැරව විවිධ අභියෝගයන් මධ්‍යයේ සිදුකොට ඇති වගාව දැන් නෙතට ප්‍රිය දසුනක්ව පවතී. තෙත් කලාපයේ ආර්ථික භෝගයක් ලෙස වගා කෙරෙන රබර් අනුරාධපුරයේ දේශගුණික තත්ත්වයන් යටතේ ද මනාව වගා කළ හැකි බව මේ අනුව සනාථ වී තිබේ. පළපුරුදු ගොවියකු වන බස්නායක මහතා මෙම අභියෝගාත්මක වගා ව්‍යාපෘතිය පිළිබඳව මෙසේ කරුණු පැවසීය. “මෙහෙ රබර් පදම් කරන්න අමාරුයි කියන මතයත් එක්ක මුලින් මේ වැඩේට යොමු වෙන්න පොඩි බයක් තිබුණා. ඒත් නිලධාරි මහත්වරුන්ගේ උපදෙස් එක්ක ඒ බය මඟහැරුණා. අපි මෙහෙ වී වගාව තමයි වැඩියෙන් කරන්නේ. රබර් වගාව කියන එක අපිට අලුත්ම අත්දැකීමක්. කිරි කපන විදිහ වගේම අනිත් හැමදේම ගැන අපිට උපදෙස් ලැබුණා. රබර් කපනවා කියන එක වෙනම ඉගෙන ගන්න ඕන වැඩක්. ඒක හරියට කලාවක් වගේ. කොහොම හරි දැන් හොඳ ආදායමක් ගන්න පුළුවන් මට්ටමට මේ වගාව ඇවිල්ලා තියෙනවා. දැන් තියෙන්නේ පරිස්සමින් නඩත්තු කරන එක විතරයි.”
රජරට හා උතුරු පළාත තුළ රබර් වගාව ව්‍යාප්ත කර එම ප්‍රදේශවල ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් රජය මඟින් ආරම්භ කරන ලද වැඩසටහනට සමගාමීව බස්නායක මහතා ද රබර් වගාවට එක්ව ඇත.
බස්නායක ගොවි මහතාගේ රබර් වගාවේ නෑඹුල් කිරි කැපීමේ අවස්ථාව සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා කනේරු, රබර් පර්යේෂණ ආයතනයේ සභාපති ප්‍රියන්ත වීරසිංහ යන මහත්ම, මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.