කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියේ, ඊයේ (20) පෙරවරුවේ ලියන්වල තුත්තිරිපිටිය දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුවී ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ මෙම දුම්රිය, පෙරවරු 7.30ට පමණ පාදුක්ක දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර ධාවනය වන අවස්ථාවේදී, මෙම ස්ථානයේ ඇති අතුරු මාර්ගයේ සිට ධාවනය වූ මෝටර් රථය දුම්රියේ ඉදිරිපස ගැටී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ ඇති ගේට්ටුවේ මුරකරුවකු සිට නොමැති බවත්, මෙම අනතුරින් කිසිවකුටත් ජීවිත හානියක් සිදුවී නොමැති බවත් පොලීසිය කියයි. මීගොඩ පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් මත රථ වාහන අංශයේ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.