සිස්ටම් චේන්ජ් ඇරඹුණු බව පැහැදිලියි
අගමැතිනි හරිනි අමරසූරිය
යහපත් සුබවාදී පරිවර්තනීය දේශපාලන ගමනේ ආරම්භයක් මේ අය-වැයත් සමඟ ඇරැඹෙන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඊයේ (20) පැවසුවාය.
අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.
අග්‍රාමාත්‍යවරිය මෙසේද පැවසුවාය.
මාසයක් පමණ කාලයක් අයවැය සම්බන්ධයෙන් මේ සභාව තුළ විවිධ විවාදයන් ඇති වුණා. ඒ සාකච්ඡා සංවාද සියලු දේ අපට ප්‍රයෝජනවත් වුණා. විපක්ෂයේ ඇතැම් කතා තවම එතැනමයි තියෙන්නේ කියලා මට දැනුණා. මේ විවාදය තුළ එල්ල වූ ඇතැම් චෝදනා ආවේ ඊගෝ එක හර්ට් වීම තුළින්ද කියලා මට හිතුණා. ඒවා නම් ඉතිං මෙතන විසඳන්න අමාරුයි. අපේ ආණ්ඩුව විසින් ආරම්භ කරන්න උත්සාහ කරන සිස්ටම් චේන්ජ් එක වෙමින් තිබෙනවා. ඒ ගැන මට මේ විවාදයේදී විශ්වාසයක් ඇති වුණා. මේ අයවැය ගැන විවේචන එන්නේ කොතනින්ද කියලා තේරුම් ගත්තාම අපට හිතා ගන්න පුළුවන් සිස්ටම් චේන්ජ් වෙනවා කියලා. මහන්සි වෙලා වැඩ කරන රාජ්‍ය සේවාවේ සිටින අය මෙන්ම සියලු දෙනා තමන්ගේ මහන්සියට තැනක් ලැබිලා කියලා සතුටු වෙනවා. ඔවුන්ට ගෞවරනීය ලෙස සලකනවා කියලා ඔවුන් සතුටු වෙනවා. සමාජයෙන් මඟ හැරුණු කාන්තාවන්, ආබාධිතයන්, තරුණ තරුණියන් යනාදීන්ට මේ අයවැයෙන් සහන ලැබී තිබෙනවා. ඔවුන්ට ඒ ගැන විශ්වාසයක් ලැබී තිබෙනවා. ජනතාවට ඉදිරියට ගමන් කළ හැකි මාර්ගයක් මේ අයවැයෙන් ලැබී තිබෙනවා. ඔවුන් ඒ ගැන සතුටු වෙනවා. රැකියා විරහිත තරුණ පිරිස් ගැන අපි ලොකුවට විවාද කරමින් සිටියා. තමන්ගේ වෘත්තීය ගැන තෘප්තිමත් විය හැකි සුදුසුකම්වලට අනුව රැකියා දෙන ක්‍රමවේදයක් හදමින් යනවා. එවැනි රැකියා ගණනාවකට මාර්ග මේ වන විටත් විවර කරමින් තිබෙනවා. ඇතැම් රැකියා දීම මන්දගාමී වෙලා තිබෙන්නේ උසාවියේ තිබෙන ඇතැම් ගැටලු නිසා. මිනිසුන්ගේ ඇතැම් ප්‍රශ්න ඉදිරියට දාගෙන තමන්ගේ දේශපාලන වරප්‍රසාද රැක ගැනීමට උත්සාහ කරන අයට අපේ අයවැය ගැන කියන්න බොහෝ කතා ඇති. සිස්ටම් චේන්ජ් එකක් ආරම්භ වන විට වාද විවාද ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. පරණ ක්‍රමය තුළ ප්රතිලාභ ලැබූවන්ට කිසියම් තිගැස්මක් ඇතිවෙලා තිබෙනවා. අලුත් සිස්ටම් එක ඇති වෙනකොට තවත් පිරිසකට නැති වෙන දේවල් තිබෙනවා. ඒ අයගෙන් තමයි අපට ලොකුම විවේචන ඇවිත් තිබෙන්නේ. අලුත් මාවතකට යා යුතුයි කියා හිතන අයගෙන් පැමිණි යෝජනා අපි පිළිගන්නවා. අයවැය සඳහා සියලු දෙනාගේ සහාය ලැබීම සතුටුයි. ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
දේශපාලනඥයන්ට මුදල් දුන් වයින් ස්ටෝර්ස් හිමිකරුවන්ට ඉදිරියේදී සාක්කි දෙන්න සිදුවෙයි
වසන්ත සමරසිංහ
මෙන්ඩිස් අරක්කු සමාගමෙන් මුදල් ගෙන දේශපාලනඥයන්ට මුදල් දුන් වයින් ස්ටෝර්ස් හිමිකරුවන්ට ඉදිරියේදී සාක්ෂි දෙන්න සිදු වන්නේ යැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසීය.
අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
මුදල් අමාත්‍යාංශය වැනි වැදගත් අමාත්‍යාංශයක විවාදයක් තිබෙන අවස්ථාවක විපක්ෂයේ මන්ත්‍රීවරුන් නැහැ. මේ විවාදයේදී වැඩිම කාර්යභාරයක් ඉටු කරන්න තිබෙන්නේ විපක්ෂයට. හර්ෂ හැලුණොත් විපක්ෂයක් නැහැ. මේ යන විදිහට හර්ෂ ඉස්සරහට විපක්ෂ නායක වෙයිද දන්නේ නැහැ. දේශපාලකයන්ට සල්ලි බෙදපු එකත් සභාගත කරන්න ඕන. එය කරන්න බැරි වුණා. ඒ ගැන පරීක්ෂණ කරනවා. ඇලෝසියස්ගේ තාත්තයි, ඇලෝසියසුයි එකට අත්සන් කරන සෙලාන් බැංකුවේ ගිණුමකින් චෙක්පත් 156කින් සල්ලි බෙදලා තිබෙනවා. ඍජුව සල්ලි දී තිබෙන දේශපාලකයන් කිහිපදෙනකුගේ නම් තිබෙනවා. ඊට අමතරව අරුම පුදුම විදිහකට තමයි සල්ලි දීලා තිබෙන්නේ. සල්ලි දීලා තිබෙන්නේ වයින් ස්ටෝර්ස්වලට. වයින් ස්ටෝර්ස් එක තමයි දේශපාලනඥයන්ට ගනුදෙනු බේරලා තිබෙන්නේ. මොකද මෙන්ඩිස් එකෙන් අරක්කු ගත්තා නම් මෙන්ඩිස් එකටනේ වයින් ස්ටෝර්ස් එක සල්ලි ගෙවන්න ඕන. දැන් කරලා තිබෙන්නෙ මෙන්ඩිස් එක වයින් ස්ටෝර්ස්වලට සල්ලි ගෙවලා. ඒගොල්ලෝ තමයි දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ට සල්ලි බේරලා තිබෙන්නේ. මේ ගනුදෙනු හෙළි වන විට වයින් ස්ටෝර්ස් හිමිකරුවන්ට දැන් සාක්ෂි දෙන්න වෙයි මෙන්ඩිස් එකෙන් චෙක් එක හම්බ වුණේ ඇයි? ඒ චෙක් එක දුන්නේ කාටද කියලා ඉදිරියේදී හෙළිදරවු කරයි. අවුරුදු 15ක පරණ පරීක්ෂණත් දැන් සිදු වෙනවා. සමහරු ඉතිහාසය අමතක කරලා යන්න හදනවා. එහෙම කරන්න බැහැ. අතීතයේ වැරදි කළ අයට දඬුවම් දිය යුතුමයි.
ශ්‍රම බළකාය ලක්ෂ 80ක් වුවත් බදු සීමාව සපුරාලන්නේ ලක්ෂ අටයි
මුදල් කාරක සභාවේදී අනාවරණය වෙයි
මෙරට ලක්ෂ 80ක පමණ ශ්‍රම බළකායක් සිටියද පවතින ක්‍රමවේදය අනුව ආසන්න වශයෙන් ලක්ෂ 8ක් පමණක් බදු සීමාව සපුරාලන බව මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇත.
ලක්ෂ අසූවක පමණ ශ්‍රම බළකායක් අතුරින් ලක්ෂ 8ක පිරිසක් පමණක් බදු දැලට හසුවීමට හේතු මොනවාදැයි මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා මුදල් අමාත්‍යාංශ ප්‍රධානීන්ගෙන් සිදු කර ඇති විමසීමේදී මේ බව අනාවරණය වී ඇත.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 මාර්තු 18 වන දින පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා විය.
මෙම පනත් කෙටුම්පත යටතේ පුද්ගල ආදායම් බදු (PIT) සහනය වාර්ෂිකව රුපියල් 1,200,000 සිට රුපියල් 1,800,000 දක්වා වැඩි කිරීමේ යෝජනාව කමිටුවේ අවධානයට ලක්විය. එසේම ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩා මඟින් මෙන්ම දුම්කොළ සහ මත්පැන් නිෂ්පාදන සඳහා ලාභ සහ ඉපයීම් මත ආදායම් බදු අනුපාතය 40% සිට 45% දක්වා වැඩි කිරීම, සේවා අපනයනය 15% අනුපාතයකින් ආදායම් බද්දට යටත් කිරීම සහ පොලී ආදායම හෝ වට්ටම මත රඳවා ගැනීමේ බදු (WHT) අනුපාතය 5% සිට 10% දක්වා වැඩි කිරීමට ද මෙම සංශෝධනය මඟින් යෝජනා ඉදිරිපත් කර ඇත.
උපයන විට ගෙවීමේ බදුවලට අදාළ (PAYE) දත්ත විශ්ලේෂණය සලකා බැලූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, පවතින දත්තවල දෝෂයක් ඇති බව නිගමනය කළේය. ඒ අනුව, කාරක සභාවට නිවැරදි දත්ත විශ්ලේෂණයක් ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම බදු ගෙවීම, ආනයනය, අපනයනය කිරීම හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඕනෑම සේවාවක් ලබා ගැනීම සඳහා බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් (TIN) ලබා ගැනීම ක්‍රියාත්මක නොවන බව මෙහිදී අනාවරණය විය. මෙම ක්‍රියාවලිය නිවැරදි ලෙස සිදු කිරීම සම්බන්ධයෙන් කාරක සභාවට වාර්තා කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබාදීම සිදු විය. ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩා මඟින් මෙන්ම දුම්කොළ සහ මත්පැන් නිෂ්පාදන සඳහා ලාභ සහ ඉපයීම් මත ආදායම් බදු අනුපාතය 40% සිට 45% දක්වා වැඩි කිරීමේ යෝජනාව සලකා බැලූ කාරක සභාව, කැසිනෝ නියාමකයෙකු ස්ථාපිත කිරීමට අමාත්‍යාංශය අපොහොසත් වීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළේය. තවද, පසුගිය වසර 5 තුළ කැසිනෝ හරහා ලැබුණු ආදායම පිළිබඳව කමිටුව විසින් මීට පෙර ඉල්ලා සිටි නිසි දත්ත ලබා දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම පිළිබඳව ද කාරක සභා සභාපතිවරයා විසින් සිය අප්‍රසාදය පළ කර ඇත.
බදු අභියාචනය සඳහා ගෙවීමට නියම වූ බදු මුදලෙන් 25%ක් ගෙවීමට සිදුවීම පිළිබඳව ද කාරක සභාව විසින් පැමිණ සිටි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදි. අභියාචනයක් ඉදිරිපත් කිරීමේදී බැංකු ඇපකරයක් වෙනුවට මුදල් තැන්පතුවක් ඉල්ලා සිටීම කෙතරම් දුරට සදාචාරාත්මක ද යන්න කමිටුව ප්‍රශ්න කළේය. රජයට ලැබිය යුතු ආදායම ගෙවීමෙන් වැළකී සිටීම සඳහා ජනතාව අභියාචනා ක්‍රියාවලිය යොදා ගන්නා බවත්, එබැවින් බැංකු ඇපකරයක් වෙනුවට මුදල් තැන්පතුවක් යෝජනා කර ඇති බවත් ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා නඩු විශ්ලේෂණය කර අදාළ දත්ත ලබා දෙන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, විජේසිරි බස්නායක, නිමල් පලිහේන යන මහත්වරුන් ද සහභාගි වූහ.
සිගරැට් බද්ද සම්බන්ධයෙන් අලුතින්ම සිතන්න
මන්ත්‍රී හර්ෂ ද සිල්වා
සිගරැට් සඳහා බදු පනවන ආකාරය සම්පූර්ණයෙන්ම වැරදි බව මුදල් කාරක සභාවේ සභාපති විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) සුරාබදු නියමයන් සම්බන්ධයෙන් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සියලු දෙනා සඳහන් කර ඇත්තේ මිල මත සියයට 75ක බදු පැනවිය යුතු බවද හර්ෂ ද සිල්වා මහතා පැවසීය. එහෙත් මෙම බද්ද වසර කිහිපයක් තුළ පහළට එමින් පවතින බවත් ඒ හේතුවෙන් ආණ්ඩුවට ලැබෙන ආදායමට වඩා සිගරැට් ආයතනයට ලැබෙන ආදායම විශාල බවද ඒ මහතා පැවසීය. එබැවින් සිගරැට් සඳහා පනවන බද්ද සම්බන්ධයෙන් මුළුමනින්ම අලුතින් හිතන ලෙසද සභාපතිවරයා පැවසීය.
මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා
සිගරැට් සම්බන්ධයෙන් තිබෙන බද්ද මේ ආණ්ඩුව යම්කිසි සංශෝධනයක් කරන්න මුදල් කාරක සභාවෙන් ඉල්ලු විට අපි ඒ අවසරය දුන්නේ නෑ. අපි ඒ ගැන කාරක සභාවට ඇවිත් පැහැදිලි කරන්න කියූ විට ඔවුන් එය කළා. ඔබ අය-වැය සම්මත කළ යුතු සහ අපට එය තවදුරටත් කල් දාන්න බැරි නිසා අපි ඒක සම්මත කළා. නැත්නම් අවුලක් මතු වන නිසා. නමුත් සිගරැට් බද්ද ගහන විදිහ වැරදියි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සියලු දෙනා කියලා තිබෙන්නේ මිල මත සියයට 75ක බදු පැනවිය යුතු බවයි. නමුත් මේ බද්ද වසර කිහිපයක් තුළ පල්ලෙහාට එමින් පවතිනවා. ඒ නිසා ආණ්ඩුවට ලැබෙන ආදායමට වඩා සිගරැට් ආයතනයට ලැබෙන ආදායම විශාලයි. ඒ නිසා සිගරැට් සඳහා ගහන බද්ද සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම අලුතින් හිතන්න. ආණ්ඩුවෙන් පෙන්නලා දුන්නා උද්ධමනයට සියයට 04ක් එකතු කරලා තමයි මේ බද්ද ගහන්නේ කියලා. උද්ධමනය 1.9යි ඊට 04ක් එකතු කරලා 5.9ක් ලෙස මේ බද්ද ගහලා තිබෙනවා. දැන් තිබේ. සිගරැට් සඳහා එකම බද්ද ගහනකොට වෙනසක් සිදුවෙනවා. එවිට ඒ අය කරන්නේ අලුතින් සිගරැට් එකක් ගහලා අලුතින් කට්ටිය අල්ල ගන්නවා නැත්නම් බීඩි බොන්න ඒ අය උනන්දු වෙයි කියලා. අපි මේක දැන් පාස් කළේ අය-වැය පාස් කරගන්න ඕනා නිසායි. නැතුව වෙන දෙයක් නිසා නොවෙයි. ඒ නිසා සිගරැට් බද්ද ගැන අලුතෙන්ම තීරණයක් ගත යුතුයි කියා මා හිතන්නේ.
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා
අය වැය සම්මත කිරීම සඳහා සිගරැට් බද්ද පාස් කළා කීම සාධාරණ ප්‍රකාශයක් නොවෙයි.
හර්ෂ ද සිල්වා මහතා
මම ප්‍රත්ක්ෂේප කරනවා ඇමැතිවරයාගේ මතය. මේ කාරක සභාවේ මම සභාපති වුණේ අද ඊයේ නොවෙයි. අවුරුදු 15ක් මම සභාවල ඉඳල තිබෙනවා.
කථානායකවරයා
විවාදයක් කරගන්න එපා. පසුව අපි මේ ගැන කතා කරමු.
බිමල් රත්නායක මහතා
සභාපතිතුමා කියන හරයත් සමඟ එකඟයි. ආණ්ඩුවට අය-වැය සම්මත කරගන්න අවශ්‍ය නිසා මේක සම්මත කරදුන්නා කිව්වහම වෙන අදහසක් යන්නේ. මොකද ලංකාවේ ඉන්නවානේ නයි අරින මීඩියා ටිකකුත්. ඒ සභාවේ සාමාජිකයෙක් වුණු කෞෂල්‍යා ආරියරත්න මන්ත්‍රීතුමියත් කිව්වා.
අය-වැය ක්‍රියාත්මක කරවීමටත් රජයට නිසි වැඩපිළිවෙළක් තිබෙනවා
නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම
අය-වැය ඉදිරිපත් කළ අයුරින්ම ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් රජයට නිසි වැඩපිළිවෙළක් තිබෙන බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවති විවාදයට සහභාගි වෙමිනි.
මෙම අය-වැය ඉදිරිපත් කර තිබෙන්නේ මේ රට අනාගතයට ගෙනියන්නේ කෙසේද යන්න පිළිබඳ රට දැනුවත් කිරීමට සහ ඒ සඳහා ආයතන ව්‍යුහය සූදානම් කරවීම සඳහා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,
මේ අය-වැයේ ආදායම වියදම සම්බන්ධයෙන් අපි අවධානය යොමුකරනවා. මේ අය-වැය සකස් කර තිබෙන්නේ අපි අනාගතයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් යම් අදහසක් ලබාදීම වෙනුවෙන්. රට බංකොලොත් කිරීමේ අරමුණක් අප සතුව නැහැ. ඒ අය කටයුතු කළ ආකාරය නිසා තමයි මේ විදිහට රට බංකොලොත් වුණේ. පර්පෙචුවල් ට්‍රෙෂරිස් ගනුදෙනු ගැන අපි අහලා තිබෙනවා. මෙන්ඩිස් අරක්කු සමාගමේ ගිණුම් ගැන අපි අහලා තිබෙනවා, සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා, දයාසිරි ජයසේකර, තවත් සේනාරත්න කියන කෙනෙකුට මෙම සමාගමෙන් මුදල් ලබාදී ඇති බවට. අපි කරුණාවෙන් ඉල්ලනවා අන්න ඒ පිළිබඳ වාර්තාත් ඉදිරිපත් කරන්න. මම හර්ෂ ද සිල්වා මහතාට කියනවා, ඔයගොල්ලන්ට වාසිසහගත වන අයුරින් වන වාර්තා පමණක් ඉදිරිපත් කරන්න එපා.
අය-වැයේ අවසාන දින කිහිපයට අපි ළඟා වෙලා තිබෙනවා. අය-වැය ඉදිරිපත් කළාක් මෙන් අය-වැය ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් රජයට නිසි වැඩපිළිවෙළක් තිබෙනවා. විපක්ෂයේ අදහස් ක්‍රියාත්මක නොකළ නිසා මේ රට බංකොලොත් වුණා. පසුගිය සමයේ මෙන් commercial rates වලට ණය ගැනීම වෙනුවට, රටට ගැළපෙන ක්‍රමවේදයකට ණය ලබා ගැනීමට වැඩපිළිවෙළක් සූදානම් කර තිබෙනවා.
හර්ෂ ද සිල්වා මහතා
අනුර කුමාර දිසානායක මහතාගේ වගේම මගේ දුරකතනයත් පරීක්ෂා කළා. එක දුරකතන ඇමතුමක්වත් ඇවිත් නැහැ. ඒ නිසා චෝදනා කරන්න එපා.
අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා,
එකතු කළ අගය මත බදු ක්‍රමය හෙවත් එස් වැට් එක හිතුමතේට කරන දෙයක් නොවෙයි. මෙය කලක් තිස්සේ ආපු වැඩපිළිවෙළක ප්‍රතිඵලයක්. ව්‍යාපාරිකයන්ට, නිෂ්පාදනකරුවන්ට සහ අපනයනකරුවන්ට කිසිම අසාධාරණයක් නොවන පරිදි මේ සඳහා අවශ්‍ය ඩිජිටල් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමෙන් පසුව තමයි මෙම එස් වැට් ක්‍රමය අහෝසි කර මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ.
ලක්ෂ 10ට අඩු තැන්පත් ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහනයක් ලබා දී තිබෙනවා
ඇමැති අනිල් ජයන්ත
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යහපත් ජීවිතයක් පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය උවමනාව සලකා බලා රුපියල් ලක්ෂ 10ට අඩු තැන්පත් හිමියන් සඳහා අමතර සියයට 3ක තැන්පත් පොලියක් ලබාදීමට මෙවර අය-වැයෙන් ප්‍රතිපාදන සලසා ඇතැයි කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසීය.
2025 අය-වැය යෝජනාවලට අනුව 2025 ජූලි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පත් සඳහා සංශෝධිත විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27 (2) යටතේ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
රඳවා ගැනීමේ බද්ද යනු තවත් වෙනත් බද්දක් නොවන අතර යම් තැනැත්තෙකු බද්දට යටත්ව තම ආදායම මත ගෙවන බදු ප්‍රමාණය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අය කර ගන්න එක් ක්‍රමවේදයක් පමණයි. ඒ අනුව යම් තක්සේරු වර්ෂයක් සඳහා ඒ වර්ෂය අවසානයේ දී ආදායමේ තක්සේරුව මත වර්ෂ අවසානයේදී ද, ස්වයං තක්සේරුව මත කාර්තුමය වශයෙන් ද ආදායම ජනනය වන මොහොතේදී එනම් ප්‍රභවයේදී අදාළ බදු ප්‍රමාණ අය කර ගන්නා ක්‍රම තිබෙනවා. ආදායම මත ප්‍රභවයේදී පැන නඟින අවස්ථාවේ අදාළ බදු ප්‍රමාණය අය කර ගැනීම රඳවා ගැනීමේ බදු ලෙස හඳුන්වන්නේ. සමහර විට පුද්ගලයෙකු ඒ ඒ බදු මූලාශ්‍රයට අදාළව ගෙවිය යුතු සම්පූර්ණම මුදලම රඳවා ගැනීමේ බද්දක් ලෙසත් ප්‍රභවයේදී අය කර ගන්නා ක්‍රමයක් තිබෙනවා. උදාහරණයක් ලෙස දැනට වැටුප් ආදායම මත ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් ක්‍රමවේදය යටතේ දී සම්පූර්ණ බදු වගකීමම අය කරනවා. එහිදී එම තැනැත්තා බද්දට යටත් සම්පූර්ණ ආදායම වැටුපෙන් පමණක් ලැබෙනවාය යන උපකල්පනය යටතේ අදාළ රැඳවුම් බද්ද අය කරනවා. ඒ අනුව වැටුප් ආදායම බිංදුවේ සිට සියයට 36 දක්වා බදු අනුපාතයන්ට යටත්ව මුළු බදු ප්‍රමාණයම රඳවා ගැනීමේ බද්දක් ලෙස අය කරනවා. පොලී මත රඳවා ගැනීමේ බද්දක් ලෙස දැනට අය කරනුයේ සියයට 5ක ප්‍රතිශතයක්. බදු අනුකූලතාව නංවාගැනීමෙනුත්, බදු පදනම පුළුල් කර ගැනීමේ අරමුණෙනුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ වැඩසටහනේ දෙවැනි සමාලෝචනයේ දී සාකච්ඡා වූ ලෙස 2025 ආදායම් පුරෝකථනයට එකඟව තිබූ ආකාරයටත් මෙම ප්‍රතිශතය සියයට 10 දක්වා ඉහළ දමා තිබෙනවා.
රජය තීන්දුවක් ගත්තම පැය 24ක් තුළ ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් අවශ්‍ය පියවර ගත යුතුයි
මන්ත්‍රී රවී කරුණානායක
රටේ ආර්ථිකය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගත යුතු බවත් ඒ සඳහා අත්‍යාවශ්‍ය පනත් කෙටුම්පත් වේ නම් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.
රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේ අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගී වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා මෙසේද පැවසීය. හොඳම දේ තමයි රජයේ නිලධාරීන් රජය තීන්දුවක් ගත්තම පැය 24ක් තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි. අපි නිර්මාණශීලී විය යුතුයි. කොහොමද අපි අලුත් ආකාරයකට ආදායම් හොයන්න පුළුවන් කියලා අවධානය යොමුකළ යුතුයි. කොහොමද අපිට වියදම් පාලනය කරන්න පුළුවන් වන්නේ. අපිට පරිපාලනය කර ගත හැකි වියදම් තිබෙනවා. පරිපාලනය කරන්න බැරි වියදම් තිබෙනවා. තෙල් මිල වැඩි වුණොත් අපි කොහොමද කටයුතු කරන්නේ කියලා බලන්න තියෙනවා. සෑම ආණ්ඩුවක්ම මීට පෙර ඇවිල්ලා හොඳ සිද්ධාන්ත තුළින් අය-වැය ඉදිරිපත් කළා. නමුත් ඉදිරිපත් කළාට මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනකොට අපිට පේනවා වියදම වැඩි වෙලා ආදායම අඩු වෙලා හිඟය වැඩි වෙලා යන ගමනක්. මේ පාර පනතක් තියෙන නිසා, පළවෙනි වරට ඒ පනත ක්‍රියාත්මක කරන නිසා මේක මොන ආකාරයෙන්ද අපි ක්‍රියාත්මක කරන්නේ කියන එක අපි බැලිය යුතුයි. මේක කියද්දි සංසන්දනය කරන්නේ මීට අවුරුදු ගණනකට පෙර පාලනය කරපු ආණ්ඩු. ඒ ආණ්ඩු තුළත් යම් විදියකට සාර්ථකත්වයක් තිබිලා තියෙනවා.
ඉතිරි කිරීම් සම්බන්ධයෙන්ද අවධානය යොමුකළ යුතුයි. ඔබතුමාලා ඇමතිකම් අඩු කරනවා කිව්වා, විවිධ දේවල් අඩු කරනවා කිව්වා. වරප්‍රසාද ආදිය අඩු කරා නම් ඒ අඩු කරපු දේවල්වලින් ඉතිරි කළ මුදල් කොහෙටද ගියේ. වාචිකව කියන එක විතරක් නෙවෙයි ඒවා ප්‍රායෝගිකව අපි ඔප්පු කළ යුතුයි.