ගුවන ආශ්රිත විනෝදාස්වාද ක්‍රීඩා හා ත්‍රාසජනක ගුවන් ක්‍රියාකාරකම් නිසි නියාමනයකට ලක්කරමින් සංචාරක කර්මාන්තයට සවියක් වීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන් හට මෙරට පවතින පාරිසරික හා භූවිෂමතාවයන්ට අනුව ගුවන ආශ්රිත විනෝදාස්වාද ක්‍රීඩා හා ත්‍රාසජනක ගුවන් අත්දැකීම්වල නිරතවීම සඳහා නව අවස්ථාවන් හඳුන්වාදීමටත්, එම ක්ෂේත්රයන් නිසි නියාමනයකට ලක්කිරීමටත් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමගින් එක්ව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
ඒ අනුව මෙම අංශ යටතේ කටයුතු කරන මෙහෙයුම්කරුවන්, ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් ඇතුළු එම ක්ෂේත්රයේ නියුතු පාර්ශ්වකරුවන් සමඟ එහි ඉදිරි කටුයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් පසුගිය දා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ දී සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සාගර කොටකදෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.
මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සාගර කොටකදෙණිය මහතා,
“ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන් විවිධ ආකාරයේ සංචාරක අත්දැකීම් ලබාගැනීමේ අපේක්ෂාවෙන් මෙරට සංචාරයේ නිරත වනවා. ඒ අතරින් ත්‍රාසජනක ගුවන් ක්‍රීඩා මෙන්ම ගුවන ආශ්රිත විනෝදාස්වාදය සහිත ක්‍රියාකාරකම් සඳහා ද ඔවුන් ඉහළ උනන්දුවක් දක්වන බවට පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා මෙම අවස්ථාවන් නිසි නියාමනයක් යටතේ පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් මතුව තිබෙන බව අප හඳුනාගත්තේ එහි නිරතවන පුද්ගලයන්ගේ සුරක්ෂිතතාවය හා ආරක්ෂාව ද තහවුරු කිරීමට අවශ්‍ය නිසයි.
එමෙන්ම සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට රජය ගන්නා උත්සාහයට මෙම නව අවස්ථාවන් රටතුල ප්‍රචලිත කිරීමට රුකුලක් වන බව අපගේ විශ්වාසය වගේම අපේ රටේ පවතින භූවිෂමතාවයන් හා පාරිසරික ස්වභාවය මෙවැනි ආකාර්ෂණීය හා ත්‍රාසජනක ක්ෂේත්රයන් ප්‍රචලිත කිරීමටත් ඒ වෙනුවෙන් උනන්දුවක් දක්වන සංචාරකයන් ආකර්ෂණය කරගැනීමටත් මනා සහයෝගයක් සපයාවි.” යැයි පැවසීය.