ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට හඳුන්වාදීමට හා දේශීය නිර්මාණකරුවන් සඳහා ගෝලීය අවස්ථා උදාකර දීමේ “Creative Sri Lanka 2030: Matchmaking Pilot Program 2025” වැඩසටහන දියත් කෙරේ.
යුරෝපා සංගමයේ (EU) ශ්‍රී ලංකා නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එක්ව ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට යොමු කිරීමේ අරමුණින් මෙම නවතම වැඩසටහන පෙරේදා (19) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී ආරම්භ කෙරිණි.
මෙම සුවිශේෂ අවස්ථාවට ප්‍රමුඛ පෙළේ යුරෝපීය සහ එක්සත් රාජධානියේ සන්නාම පහක් තෝරා ගත් ශ්‍රී ලාංකික සන්නාම පහක් සමඟ ඒකාබද්ධ විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ අත්කම් ක්ෂේත්‍රය ගෝලීය තලයට ඔසවා තැබීමේදී ආචාරධාර්මික වෙළෙඳාම සහ නිර්මාණ සහයෝගිතාවයේ කාර්යභාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.
Creative Sri Lanka 2030 යනු නව නිපැයුම්, තිරසරභාවය සහ ගෝලීය වෙළෙඳපොළ ප්‍රවේශය පෝෂණය කරමින් රටේ නිර්මාණාත්මක කර්මාන්ත සවිබල ගැන්වීම සඳහා කැප වූ ජාතික වැඩසටහනකි. දිගුකාලීන වර්ධනය සහ ජාත්‍යන්තර පිළිගැනීම සහතික කරමින් උපායමාර්ගික සහයෝගිතාවන් සහ ධාරිතා වර්ධනය කිරීමේ ප්රයත්නයන් තුළින් ශ්‍රී ලාංකේය කලාවන්, අත්කම් සහ නිර්මාණකරණය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ අරමුණයි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මෙහිදී සඳහන් කළේ අත්කම් අපනයනය දෙස බහුවිධ ලෙස බැලීමට දැන් කාලය එළැඹ ඇති බවයි. ශ්‍රී ලංකාව ඇදහිය නොහැකි තරම් ශිල්පීය දක්ෂතා සම්භාරයක් ඇති රටක් වන නමුත් අපගේ නිර්මාණකරුවන්ට සහ ශිල්පීන්ට ගෝලීය වශයෙන් ඔවුන්ගේ ව්‍යවසායකත්වය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය වෙළෙඳපොළ ප්‍රවේශය බොහෝ විට නොමැති හෙයින් මෙම සහයෝගිතාව ඒ සඳහා අවස්ථාවක් වනු ඇතැයි ඒ මහතා කීය.
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ජාත්‍යන්තර සැපයුම් දාමයන්ට ඒකාබද්ධ කිරීම මඟින් අපනයන පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවේ අත්කම් සම්ප්‍රදායන් පුළුල් ගෝලීය වෙළෙඳපොළ වෙත හඳුන්වා දීම මෙම වැඩසටහනේ අරමුණයි.
යුරෝපා සංගමයේ වෙළෙඳ හා සන්නිවේදන අංශ දේශපාලන ප්‍රධානී ලාර්ස් බ්රෙඩාල් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ අත්කම් ක්ෂේත්‍රයේ භාවිතයට නොගත් විභවයක් ඇති අතර ශ්‍රී ලාංකේය අත්කම් ශිල්පය ‘අපනයනයට සූදානම් කිරීම පිළිබඳ නැවත සිතා බැලිය යුතු බවයි. දක්ෂ ශිල්පීන් ජාත්‍යන්තර වෙළෙඳපොළට ගෙන ආ යුතු අතර ග්‍රාමීය නිෂ්පාදන ඉහළ වටිනාකමක් සහිත ගෝලීය වෙළෙඳපොළට යොමු කළ යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.
මෙහිදී පාර්ශ්වකරුවන් විසින් ශ්‍රී ලංකාව ගෝලීය අත්කම් සහ නිර්මාණකරණයේ සිය ස්ථානය නැවත අර්ථ දැක්විය හැකි ආකාරය පිළිබඳ සොයා බැලීය. යුරෝපීය සහ ශ්‍රී ලාංකේය නිර්මාණකරුවන් සදාචාරාත්මක හවුල්කාරිත්වයන්, තිරසර නිෂ්පාදනය සහ ඉහළ වටිනාකමක් ඇති වෙළෙඳපොළ අවස්ථා පිළිබඳ අත්දැකීම් බෙදා ගත්හ.
බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහාය ඇතිව මෙම අධ්‍යාපනික වැඩසටහන 2025 මාර්තු 19 සිට 23 වැනිදා දක්වා හැනා මිඩ්ල්ටන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ලන්ඩන් කලා විශ්වවිද්‍යාලයේ (University of Arts London) කථිකාචාර්යවරුන් විසින් පවත්වනු ලැබේ.
ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක ආර්ථිකය හැරවුම් ලක්ෂ්යයක පවතින මෙම අවස්ථාව, කර්මාන්ත වෘත්තිකයන්ට, මාධ්‍යවේදීන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට ආචාරධාර්මික ශිල්පීය හා අපනයන නවෝත්පාදනයන්ගේ අනාගතය සමඟ සම්බන්ධ වීමට මෙම වැඩසටහන වේදිකාවක් සපයනු ඇත.
මෙම විශේෂ උත්සවය සඳහා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ ලේකම්, තිලකා ජයසුන්දර, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝර්බැක් (Ms. Bonnie Horbach), (Lars Bredal), යුරෝපා සංගමයේ වෙළෙඳ හා සන්නිවේදන අංශ නියෝජ්‍ය දේශපාලන ප්‍රධානී කැරොලයින් ලොප්ස් (Caroline Lopes), බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකා ප්‍රධානී ඔර්ලන්ඩෝ එඩ්වඩ්ස් (Orlando Edwards), ජාතික ශිල්ප සභාවේ සභාපතිනි ආචාර්ය අයේෂා වික්‍රමසිංහ, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති සිසිර අමරබන්දු, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ සභාපතිනි සුජීවා සේනානායක මහත්ම මහත්මීන් ඇතුළු යුරෝපා සංගමයේ (EU) ශ්‍රී ලංකා නියෝජිතායතනය, බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නිලධාරීන් ප්‍රතිපත්ති සම්පාදකයන් සහ නිර්මාණකරුවන් රැසක් සහභාගි වූහ.