සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ අනෙකුත් සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පක්ෂයේ කළමනාකරණ කමිටුව රැස්වී ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (19) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.
“සමගි ජන බලවේගයේ සභාපති ඉම්තියාස් මහතා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කර තිබෙනවා. ඉල්ලා අස්වීමට හේතුවක් සඳහන් කර තිබුණේ නෑ.
නාමයෝජනා මණ්ඩලයේ වැඩකටයුතු නිසා ඒ මහතා පෞද්ගලිකව මුණගැහෙන්න අවස්ථාවක් තිබුණේ නෑ. ඉම්තියාස් මහතා පක්ෂයේ ගමන් මඟ පිළිබඳව විවිධ අදහස් මතුකර තිබුණා. කෙසේ නමුත් ඉම්තියාස් මහතා කියන්නේ සමගි ජන බලවේගයට දැවැන්ත ශක්තියක්.
සිංහල, මුස්ලිම්, දෙමළ සියලුම ජනතාව සමඟ සුහදව කටයුතු කළ පුද්ගලයෙක් තමයි ඉම්තියාස් මහතා. ඒ මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳව පක්ෂයේ කළමනාකරණ කමිටුව රැස්වෙලා ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතයි.
සමගි ජන බලවේගයෙන් කිසිවෙක් අපි එලවන්න කටයුතු කරන්නේ නෑ. සියලු දෙනාම එකතු කරගෙන තමයි අපි මේ ගමන යන්න කටයුතු කරන්නේ. මම ඕනෑම වෙලාවක පක්ෂය සහ පක්ෂ නායකත්වය රැක ගැනීමට කටයුතු කරනවා. ඒ වගකීම මම අදත් ඉටු කරනවා. පහළ මට්ටමේ සිටින ඡන්දදායකයන් රැකගෙන ඉදිරියට යන්න අවශ්‍ය නිසා සියල්ල ඉවසාගෙන අපි කටයුතු කරනවා. ඡන්ද දායකයන් ධෛර්යමත් කළ යුතු නිසා අපි ඉවසීමෙන් කටයුතු කරනවා.”