රුපියල් මිලියන 3.8කට වැඩි වටිනාකමක් සහිත සහල් රාජසන්තක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය මස කොළඹ 12, පරණ යොන් වීදිය පිහිටි ෆර්වින් ට්‍රේඩර්ස් නමැති ආයතනයේ සිදු කරන ලද වැටලීමකදී කීරි සම්බා සහල් තම සන්තකයෙහි තබාගෙන නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධව එම වෙළෙඳසලෙහි හිමිකරු වන අබ්දුල් ජබ්බාර් මොහොමඩ් සීයාස් සහ එහි කළමනාකරු වන කුරුප්පන් මුරුගයියා යන අයට එරෙහිව පසුගිය මස 11 වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙහි (අංක 5) නඩු පවරා තිබේ. අදාළ නඩුවේදී ඉහත පුද්ගලයන් විසින් වරද පිළිගැනීමෙන් පසුව අධිකරණයෙන් එක් පුද්ගලයකුට රුපියල් 10000.00 බැගින් රුපියල් 20000.00ක දඩ මුදලක් නියම කරන ලදි. එහිදී එම වෙළෙඳසලේ සඟවා තිබියදී සොයා ගත් කීරි සම්බා සහල් කිලෝ පහේ ඇසුරුම් 3000ක් ද නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. පසුගියදා (18) අධිකරණය විසින් රුපියල් මිලියන 3.8කට වැඩි වෙළෙඳපොළ වටිනාකමක් සහිත එම සහල් තොගය රාජසන්තක කරනු ලැබීය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතට අනුව භාණ්ඩ තම සන්තකයේ තබාගෙන නොමැති බව ප්‍රකාශ කළ අවස්ථාවක අදාළ වෙළෙන්දා වැරදිකරු වුවහොත් ඊට අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට අධිකරණයට හැකියාව ඇති බව ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙයි.වෙළෙඳපොළේ සහල් වැඩි මිලට අලෙවි කිරීම සහ සඟවා තබාගැනීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කරන වැටලීම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර, එහිදී සම්බා සහ කීරි සම්බා සහල් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් වැටලීම් සිදු කරන ලෙසත්, නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.