Home » පියුමි හංසමාලිගේ ආලේපන ගැන අලුත් සැකයක්

පියුමි හංසමාලිගේ ආලේපන ගැන අලුත් සැකයක්

by chanaka
March 21, 2025 2:31 pm 0 comment

නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියම කර තිබේ.

පියුමි හංසමාලි නමැත්තියගේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව ඊට අදාළ පැමිණිල්ල අද (21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම මෝසම කැඳවූ අවස්ථාවේදී මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සම්පත් රාජකරුණා මහතා අද දින අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී පියුමි හංසමාලී වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුමුදු හේවගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායිකාව රූපලාවන්‍ය ආලේපන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර ඒ යටතේ මේ වනවිට ගනුදෙනුකරුවන් 34,506 දෙනකුට අධික පිරිසකට කුරියර් මාර්ගයෙන් එම ආලේපන අලෙවි කර තිබෙන බව සඳහන් කලේය.

තම සේවාදායිකාව අඩු මිලකට අදාළ ආලේපන ලබාගෙන රුපියල් තිස් හතලිස් දහසක් වැනි ඉහළ මිලකට අලෙවි කරන බවට ඊයේ දින සියලු මාධ්‍යවලින් ප්‍රවෘත්ති පළ කර තිබූ බව පෙන්වා දුන් එම නීතිඥවරයා එය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් මේ තුළින් සිය සේවාදායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදුවන බවත් පෙන්වා දුන්නේය.

ඒ අනුව තම සේවාදායිකාවගෙන් ආලේපන මිලදී ගත් ගනුදෙනුකරුවන් කැඳවා ප්‍රශ්න කිරීමට පොලීසිය පියවර ගෙන ඇති බවත් මේ හේතුවෙන් ගනුදෙනුකරුවන් බිය වී මෙම ආලේපන මිලදී ගැනීමෙන් ඈත් වී තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට බරපතළ හානියක් සිදුවෙමින් පවතින බවත් නීතිඥවරයා පැවසුවේය.

නිරූපණ ශිල්පිණියක වශයෙන් කටයුතු කරන තම සේවාදායිකාව ව්‍යාපාරිකාවක් වශයෙන් ඉහළ තලයකට දියුණු වීමේ ඇති වරද කුමක්දැයි ප්‍රශ්න කළ නීතිඥවරයා අම්බපාලි අද සිටියා නම් ඇයට රහත් වීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවත් සඳහන් කර සිටියේය.

නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඒ අනුව තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට අගතියක් සිදුවන ආකාරයෙන් විමර්ශන මෙහෙයවීම වැළැක්වීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසය.

පියුමි හංසමාලි නමැත්තිය රුපියල් 30,000කට අධික පිරිසකට තමන්ගේ ආලේපන කුරියර් මාර්ගයෙන් විකුණා තිබෙන බව සඳහන් කොට ඇති බව එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ නීතිවිරෝධී වත්කම් විමර්ශනය ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරණා මහතා කියා සිටියේය.

2023 වසරේ නොවැම්බර් මස 22 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ප්‍රබල කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් අතර එම ජාවාරම්කරු හා මෙම තැනැත්තිය අතර සම්බන්ධයක් පැවති බවට විමර්ශනවලදී කරුණු අනාවරණයවී තිබෙන බව පැවසීය.

පියුමි හංසමාලි නමැත්තියට අයත් සුඛෝපභෝගී මෝටර් රථය මේ වනවිටත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසේ තිබෙන බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පෙන්වා දුන් අතර,

එම නිසා පියුමි හංසමාලි විසින් කූරියර් මාර්ගයෙන් අලෙවිකර තිබුණේ සත්‍ය වශයෙන්ම ආලේපන ද එසේත් නැත්නම් කිසියම් නීතිවිරෝධී ද්‍රව්‍යයක් ද යන්න අනාවරණය කිරීම සඳහා පරීක්ෂණ පැවැත්වීමට සිදුවී ඇතැයි පෙන්වා දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ යටතේ අවශ්‍ය පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට සිදුවී ඇති බවත් කියා සිටියේය.

මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ පුද්ගලයින්ගෙන් විමර්ශන සඳහා ප්‍රකාශ සටහන් කරගැනීමට පොලීසියට බලය තිබෙන බව තමා පිළිගන්නා බවය.

මෙම තැනැත්තිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ බැවින් ඒ ඔස්සේ විමර්ශන සිදුකිරීමට වගබලා ගන්නැයි නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට දැනුම් දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම තැනැත්තියගේ ව්‍යාපාරයට හානියක් නොවීමට වගබලා ගත යුතු බවත් සඳහන් කලේය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් පොලීසියට නියම කරන ලදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT