මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රථවාහන පෙළපාළියකින් ගමන් ගැනීමට උත්සාහ කළ මහනුවර පාතහේවාහැට ප්‍රාදේශීය සභාවට තරග කරන සජබ අපේක්ෂකයන් පිරිසකගේ ආධාරකරුවන් 33 දෙනකු මහනුවර පොලීසිය විසින් වාහන 8ක් සමඟ ඊයේ (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
මෙවර පළාත් පාලන ඡන්දයට තරග කරන අපේක්ෂකයන්ගේ සහ සජබ නායකයාගේ රුව සහිත ඡායාරූප හා කොඩි සැරසිලි රැගෙන ඝෝෂා කරමින් මෙම ආධාරකරුවන් ගමන් ගනිමින් සිටියදී පොලීසිය මැදිහත්ව එය පාලනය කර වාහන සමඟ පුද්ගල පිරිස මහනුවර පොලිස් මූලස්ථානයට රැගෙන ගොස් තිබේ.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රථ වාහන පෙළපාළි සංවිධානය කිරීම යටතේ මොවුන් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.
සජබ ආධාරකරුවන් සමඟ වෑන් 6ක්, ජීප් රථයක් හා ලොරි රථයක් පොලිස් භාරයට ගෙන ඇත. මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත මහනුවර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික් සම්පත් මහතාගේ මෙහෙය වීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.