බීමතින් රිය පැදවීමේ වරදට අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් සතු තාවකාලික රියැදුරු බලපත්ර පොත පැහැරගෙන පලාගිය ත්රිරෝද රථ රියැදුරකු මොනරාගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළ ත්රිරෝද රථ රියැදුරා මොනරාගල ඇල්ලමියන වත්තේ පදිංචිකරුවෙක් වන යාපනය අයියකච්චි කඳවුරට අනුයුක්තව රාජකාරියේ නිරත 36 හැවිරිදි හමුදා සෙබළෙක් බව මොනරාගල පොලීසිය සඳහන් කළේය.
මොනරාගල පොලිස් ස්ථානයට අනුයුක්තව රථවාහන අංශයේ රාජකාරියේ නියුතු පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් පසුගිය 18 වැනිදා මොනරාගල කිරිගල ප්රදේශයේ රථවාහන රාජකාරියේ නිරතව සිටියදී පරීක්ෂාවට ලක්වූ ත්රිරෝද රථයක රියැදුරු සිට ඇත්තේ බීමතිනි. ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමට යෑමේදී එම ත්රිරෝද රථයේ රියැදුරා තාවකාලික රියැදුරු බලපත්ර පොත පැහැරගෙන පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගත්තද පැහැරගත් තාවකාලික රියැදුරු බලපත්ර පොත ඊයේ (20) වන විටත් හමුවී නැත. එම පොත සොයා විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සඳහන් කළේය.