විවෘත වරෙන්තුවක් නිකුත්කර සිටි සැකකරුවෙක් වන දේශබන්දු තෙන්නකෝන් මහතා කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහසේ මාතර අධිකරණ සංකීර්ණය තුළට පෙරේදා (19) ඇතුළුවී මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ අසුන්ගෙන සිටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඒ සම්බන්ධයෙන් මාතර පොලිස් ප්‍රධානීන්ගෙන් පොලිස් මූලස්ථානය විසින් කරුණු විමසීමටද සූදානම් වන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ඔහුගේ එම පැමිණීම අධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව බරපතළ ලෙස බිඳවැටීමක් බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී පාතාල අපරාධකරුවෙක් වූ ගනේමුල්ලේ සංජීව ඝාතනය වීමෙන් පසු විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් අධිකරණ ආශ්‍රිතව පොලීසිය විසින් ආරම්භ කර තිබුණි. ඊට අනුව සාමාන්‍ය වැසියන්ට මෙන්ම නීතීඥවරුන්ට පරීක්ෂාවකින් තොරව අධිකරණ සංකීර්ණ වෙත ඇතුළු විය නොහැකිය.
මාතර අධිකරණ සංකීර්ණයට ඇතුළු වන පුද්ගලයන්ද පරීක්ෂාවට ලක්කර ඇතුළු කර ගැනීම් සිදු වූවත් දේශබන්දු තෙන්නකෝන් මහතාව පරීක්ෂාවට ලක්ව ඇති බවක් අනාවරණය නොවන බව එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.
පොලිස් විමර්ශනවලින් අනාවරණය වෙමින් ඇති ආකාරයට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට පැමිණ ඇතැයි පැවසෙන්නේ නීතීඥවරුන් සමඟ මෝටර් රථයක නැඟීය.
ඔහු සිට ඇත්තේ සුඛෝපභෝගී මෝටර් රථයකය. එම රථය සමඟ තවත් මෝටර් රථයක නීතීඥවරු කිහිපදෙදෙනෙක් පැමිණ තිබේ. එම රථ 2 මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට ඇතුළු කර ඇත්තේ අධිකරණ සංකීර්ණයේ පිටුපස දොරකින් බවට තොරතුරුද ඒ සම්බන්ධයෙන් කෙරන සොයා බැලීමකදී බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.
එම රථ 2 දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණ ඇති බවට තොරතුරුද ආරක්ෂක කැමරා පරීක්ෂාවේදී පෙනී ගොස් තිබේ. එම රථ 2 දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුකර ඇත්තේ කඩුවෙලිනි.
කඩුවෙලින් එම රථ 2 අධිවේගී මාර්ගයට ඇතුළු කරන විට එහි දේශබන්දු තෙන්නකෝන් මහතා රැඳී සිටියේද නැද්ද යන්න පැහැදිලිව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත. එහෙත් ඔහු අධිකරණ සංකීර්ණයට ඇතුළු වී ඇත්තේ ඒ එක් රථයක නැඟී බව අනාවරණය වී තිබේ. එම මෝටර් රථ 2 කඩුවෙලින් අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට පෙර ගමන් කළ මාර්ග ගැන ආරක්ෂක කැමරා නිරීක්ෂණය කරමින් බුද්ධි අංශ විසින් මේ වන විටත් තොරතුරු සොයා බලමින් ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය.