කල්පනී අබේසිංහ සහ ජයසිරි පේදුරුආරච්චි
වැලිගම පැලෑන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තබා ගැනීමෙන් පොලිස් නිලධාරියකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ඇප ලබා දෙන ලෙස විත්තියේ නීතිඥවරු කළ ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා සැකකරු ලබන 03 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (20) නියෝග කළේය.
සැකකරු, දැඩි ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරයේ වෙනම ආරක්ෂක ස්ථානයක රඳවා තබන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කළේය.
සැකකාර පොලිස්පතිවරයාට ඇප ලබා දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වූ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (20) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී සැකකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බන්ධනාගාරය මඟින් අධිකරණයට ඉදිරිපත් කළේය.
අඟුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ සිට බන්ධනාගාර බස් රථයකින් සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අත් මාංචු දමා විවෘත අධිකරණ භූමියට ඊයේ (20) පස්වරු 1.45ට පමණ බන්ධනාගාර නිලධාරීන් රැගෙන ආවේය.
ඉන්පසු බන්ධනාගාර නිලධාරීන් විවෘත අධිකරණ භූමියේහි සිරමැදිරියෙහි සිටි අනිකුත් සිරකරුවන් එක් සිර මැදිරියකට දමා දේශබන්දු තෙන්නකෝන් මහතා තනි සිරමැදිරියට දමා ආරක්ෂාව සලසනු ලැබීය.
විවෘත අධිකරණයෙහි නඩු කටයුතු 2.45ට පමණ ආරම්භ වන තෙක්ම දේශබන්දු තෙන්නකෝන් මහතා සිරමැදිරිය තුළ ඒ මේ අත ඇවිදිමින් සහ දෑතෙන් පවන් සලමින් සිටියේය. එම අවස්ථාවේදී නීතිඥවරුන් සහ පොලිස් නිලධාරීන් ඔහු සමඟ කතා කරනු ලැබීය. නිල් පාට කෝට් එකකින් සහ ටයි පටියකින්ද සැරසී සිටි තෙන්නකෝන් මහතා විවෘත අධිකරණය තුළ තිබෙන සිර මැදිරියේ බැංකුවෙහි ඉඳගෙනද සිටියේය.
මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය පිටු 12 කින් යුක්ත වූ අතර පස්වරු 2.45 ට පමණ එම නියෝගය නිකුත් කළේය.
සුවිශේෂි කරුණු දෙකක් ඔස්සේ ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝගයෙහි සඳහන්ව තිබුණි.
සැකකරුට ඇප ලබා දුනහොත් අභියාචනාධිකරණයේ තිබෙන රිට් පෙත්සම සඳහා ලබාදුන් නියෝගයට අනුව කටයුතු කීරීම ගැටලු සහගත තත්වයක් වීම නිසාත් නීතිපතිවරයා ඇප ලබා නොෙදන ලෙසට දක්වන ලද කරුණු සලකා බලා ඇප ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව ඇප ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 03 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
සැකකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බන්ධනාගාරයට ගෙනඒමේදීත්, බන්ධනාගාරය තුළදීත් නිසි ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා ලෙසට මාතර බන්ධනාගාර අධිකාරිවරයාට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන පවත්වා සැකකරුට සැඟව සිටීමට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳව විමර්ශනය කර ප්‍රගතිය සඳහන් වාර්තාවක් අධිකරණයට වහාම ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
වැලිගම පැලෑන w 15 හෝටලය ඉදිරිපිටදී 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ පොලීසියේ නිලධාරීන් අපරාධ කල්ලියක් යැයි සිතා සිදු කළ වෙඩි තැබීමකින් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කළ උප පොලිස් පරීක්ෂකවරයකු ජීවිතක්ෂයට පත්ව තිබූ අතර සැරයෙන්වරයෙක් තුවාල ලැබ තිබුණි.
උප පොලිස් පරීක්ෂකවරයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව පසුගිය පෙබරවාරි 27 වැනිදා ප්‍රකාශ කළ මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා, සැකකාර පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබුණි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කරුණු දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.
‘ස්වාමීනී, 8 වැනි සැකකරුගෙන් බන්ධනාගාර තුළදී 2025-3-24 වැනි දින සිට 2024-3-28 යන දිනයන්හි ප්‍රකාශ ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසත්, සැකකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවෙස පරීක්ෂා කීරීමේදී සොයා ගන්නා ලද ජංගම දුරකතන දෙක සහ සැකකරු සැඟව සිටි දවස් විස්ස තුළ භාවිතා කරනු ලැබූ ජංගම දුරකතනය විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට නියෝගයක් ලබා දෙන ලෙස මම ඔබතුමාගෙන් ඉල්ලනවා.’
‘මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඊට ප්‍රති උත්තර දක්වමින් පවසා සිටියේ, සඳහන් කරන ලද දිනවල ප්‍රකාශ ලබා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් දැනුම්වත් කර අවසර ලබාදෙන ලෙසත්, ජංගම දුරකථනය විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණයට ලබාදෙන ලෙසට නියෝග නිකුත් කරනවා . ඒ වගේම අද දින ගාස්තු රහිතව නියෝගය ප්‍රකාශයට පත් කරනවා යනුවෙනි’.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කරුණු දක්වමින් මෙසේ පැවසීය.
‘ස්වාමීනි, මම මේ ගත කරමින් සිටින්නේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී සතියක්. ස්වාමීනි ඔබ ස්වර්ණම තීන්දුවක් ලබා දුන්නා. නීතියේ තිබෙන ස්වභාවය ප්‍රකාශ කිරීමට ඔබතුමන් ආරම්භ කළ මෙය ඉතාම වැදගත්. ඔබතුමන් ආරම්භ කළ නීතියේ ගමන් මඟ වාර්තා කරනු ලැබුවේ ඉකුත් පෙබරවාරි 27 වැනිදා ලබාදුන් නියෝගයට අනුවයි. ඔබතුමා නව වාර්තාවක් කරා අපරාධ කාරණයක් සම්බන්ධයෙන් නීතියේ ආධිපත්‍යයේ ගලා යන ආකාරය මුළු මහත් සමාජයටම පණිවිඩයක් ආදර්ශයක් ලබාදෙන ලෙස ක්‍රියා කිරීම ගැන මම සතුටු වෙනවා. ඔබතුමා මෙලෙස නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම ගැන මම කෘතඥතාවය දක්වනවා. ස්වාමීනි, මම අද මාතර අධිකරණයට ආවේ ඉතාම ලැජ්ජාවෙන්, මම මෙම නඩුවේ පෙනී සිටින්නේ අටවැනි සැකකරු වෙනුවෙන් පමණයි. අභියාචනාධිකරණයේ සිට මේ අධිකරණය දක්වා පෙනී සිටිනවා. මම කරන්නේ මගේ නිලධාරීන්ට උපදෙස් දෙනවා, මම මෙම නඩුව මෙහෙය වන්නේ නැහැ. මම කරන්නේ කරුණු දක්වනවා පමණයි. එහෙම වෙලත් මම ආරක්ෂාව යටතේ තමයි අධිකරණ භූමියට පැමිණියේ. අද සමාජයේ හැමෝම ආරක්ෂාව ඉල්ලනවා. පොලිස් ආරක්ෂාව මැද අපිට රාජකාරියට එන්න වෙලා තියෙනවා. අධිකරණය කියන්නේ ආරක්ෂාවෙන් යුත් භූමියක්. එවැනි ස්ථානයකට ආරක්ෂාවත් සමඟ පැමිණීමට සිදුවීම ගැන මම ලැජ්ජාවට පත්වෙනවා. ඔබතුමා ලබාදෙන නියෝගය කිසිදු බියකින් තොරව කතා කිරීමට නිදහස් වාතාවරණයක් සමාජය තුළ නිර්මාණය කළ යුතුයි. ස්වාමීනි , අනෙක් නඩු වගේ මේ නඩුවත් කල් දමන්න එපා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වහාම කඩිනම් විමර්ශනයක් සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කළ යුතුයි. එමනිසා ඔබතුමා මෙම නඩුව නිරීක්ෂණය කරලා විමර්ශනය කර නියෝගයක් කරන්න. මේ නඩුව ඇදගෙන යා යුතු නඩුවක් නොවේ. හෙට දිනය තුළ ඉතුරු සැකකරුවන් හයදෙනා මෝසමක් මඟින් මෙම අධිකරණයට ඉදිරිපත් වෙනවා. ස්වාමීනි මෙම සිද්ධියට සම්බන්ධ ඉහළ නිලධාරීන් සහ දේශපාලනඥයන් ඉන්නවා නම් ඔවුන් පිළිබඳ වහාම විමර්ශනයක් කර අත්අඩංගුවට ගන්න ඕනෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, සහකාර පොලිස් කොමසාරිස් ඇවිල්ලා ඉන්නේ අධිකරණයට මුහුණ පෙන්නලා යන්න නොවේ. අධිකරණයට යුක්තිය ඉටු කරන්න ඕනෑ නිසා තමයි පිටු 12ක් මෙම නියෝගය ලියලා තියෙන්නේ.අපි යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් මේ ගමන් මඟේ යන්න ඕනෑ. මේ රටේ අසාර්ථක රාජ්‍යයක් නොවෙන්න අප ක්‍රියා කරන්න ඕනෑ. මම හිතනවා ඔබතුමා දැක්වූ සහයෝගය අපට වැදගත් කියලා, මම ඒකට ස්තූති කරනවා.’
සැකකාර පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.
‘ස්වාමීනි, සැකකරුගේ උපදෙස් මත ඉල්ලා සිටින නීතිඥවරයකුට පමණක් අද දින ලබාදුන් නියෝගය සහිත පිටපත ලබා දෙන්න, අනෙක් අයට එම මුද්‍රිත පිටපත ලබා දෙන්න එපා. එය සැකකරුට කරන අසාධාරණයක්, ස්වාමීනී පෙරේදා දින මාධ්‍යයට නීතිඥවරියක් ප්‍රකාශ ලබාදීලා තිබෙනවා. අපි අධිකරණයේ සේවකයෝ අපි වැඩ කරා ගියා, ප්‍රකාශ ලබාදෙන්නේ නැහැ’
ඒ අනුව සහතික පිටපත නීතිඥ ධම්මික රත්නායක මහතාට හෝ ගිහාන් පතිරණ මහතාට ලබාදෙන ලෙසට අධිකරණයෙන් මම ඉල්ලනවා,’ යනුවෙන් සඳහන් කළේය.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල වෙනුවෙන් ලබාදුන් සහතික පිටපත ප.කො.පා. කරුණාතිලක මහතාටද සැකකාර පාර්ශ්වය සඳහා සහතික පිටපත නීතිඥ ගිහාන් පතිරණ මහතාටද ලබාදෙන ලෙසට නියෝග කළේය.
අධිකරණ භූමිය තුළ සිදුවන මෙවැනි සිදුවීම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍යයට ඉඩ සලසා දීමට කටයුතු කරන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණයෙන් ඉල්ලූ අවස්ථාවේදී එලෙස ක්‍රියා කිරීම අධිකරණයේ පරිපාලනයට ගැටලුවක් බව මහේස්ත්‍රාත්වරයා කරුණු දැන්වීය.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
අධිකරණ කටයුතු අවසන්වීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර බස් රථය මඟින් සැකකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර සිර මැදිරිය වෙත රැගෙන යනු ලැබීය.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්
‘ස්වාමීනි මෙම සිද්ධියට සම්බන්ධ ඉහළ නිලධාරීන් සහ දේශපාලනඥයන් ඉන්නවා නම් ඔවුන් පිළිබඳ වහාම විමර්ශනයක් කර අත්අඩංගුවට ගන්න ඕනෑ. අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුව, සහකාර පොලිස් කොමසාරිස් ඇවිල්ලා ඉන්නේ අධිකරණයට මුහුණ පෙන්නලා යන්න නොවේ. අධිකරණයට යුක්තිය ඉටු කරන්න ඕනෑ නිසා තමයි පිටු 12ක් මෙම නියෝගය ලියලා තියෙන්නේ. අපි යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් මේ ගමන් මඟේ යන්න ඕනෑ. මේ රට අසාර්ථක රාජ්‍යයක් නොවෙන්න අප ක්‍රියා කරන්න ඕනෑ.
දුම්බර බන්ධනාගාරයට යවයි
බුද්ධිකා ඉඹුලාන
ඊයේ (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අප්‍රේල් 03 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරය වෙත යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
ඊයේ (20) රාත්‍රියේ ඔහුව රැගත් බන්ධනාගාර බස්රථය පොලිස් සහ බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරින් රැගත් වාහන දෙකක විශේෂ ආරක්ෂාව මධ්‍යයේ දුම්බර බන්ධනාගාරයට රැගෙන විත් තිබිණි.
බන්ධනාගාරය තුළද දැඩි ආරක්ෂාවක් තෙන්නකෝන් මහතාට ලබාදීමට බන්ධනාගාර අධිකාරියට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් උපදෙස් ලබාදී තිබේ.
වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය 19 දින අධිකරණයට භාර වූ අතර ඊයේ (20) දින දක්වා ඔහුව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා තිබිණි.