“මං කුස්සියේ වැඩ කරන ගමන් හිටියේ. ඒ ඉද්දි මට ලොකු සද්දයක් ඇහුණා. මමයි මගේ දූලා දෙන්නයි සද්දේ ආවේ කොහෙන්ද බලන්න මිදුලට ගියා. බලද්දී ගෙදර යකඩ ගේට්ටුව මගේ චූටි දුවගේ ඇඟට පෙරළිලා” යැයි යකඩ ගේට්ටුවක් ඇඟට පෙරළී මියගිය සිසුවියගේ මව වන වී. සමන්ලතා රොද්‍රිගු සිය දියණියගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදෙමින් පැවසුවාය.
කන්දලියද්දපාළුව රාගම ප්රදේශයේ පදිංචි සතිනි සියත්මා බණ්ඩාර නම් අවුරුදු 9ක් වයසැති දැරියක් මෙලෙස මියගොස් ඇත. මියගිය දැරිය විසින් නිවැසියන්ට නොදන්වා නිවසෙන් පිටතට ගිය අවස්ථාවේදී නිවසේ ආරක්ෂාවට තිබූ යකඩ ගේට්ටුව ඇඟට පෙරළීමෙන් ඇති වූ බරපතළ තුවාල හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී මේ දැරිය මරණයට පත් වී ඇත. මේ මරණයේ සාක්ෂි විභාගය කොළඹ නාගරික මරණ පරීක්ෂණ උසාවියේ කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක අෂ්රෆ් රූමි මහතා ඉදිරියේ පෙරේදා (19) පැවැත්විණි. මරණය සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් සාක්ෂිකාරිය මෙසේද පැවසුවාය.
දුව ගේ ඇතුළේ හිටියේ. එයා එළියට ගිය බවක් අපි කවුරුත් දන්නේ නැහැ. ගෙදර එළිය පැත්තට තමයි ගේට්ටුව වැටිලා තිබුණේ. මං කෑගහගෙන ගිහින් දුවලා දෙන්නත් එක්ක ගේට්ටුව උස්සන්න උත්සාහ කළා. ඒත් අපට ඒක උස්සන්න බැරි වුණා.Ó
“ඒ එක්කම අහල පහල කට්ටිය සද්දේ ඇහිලා අපිත් එක්ක ඉක්මනින් ගේට්ටුව උස්සන්න උදවු කළා. ගේට්ටුව උස්සද්දී දුව සිහි නැතිව කතා කරන්න බැරිව හිටියේ. පුළුවන් ඉක්මනට අපි දුවව ත්‍රීවීල් එකකින් රාගම රෝහලට එක්කගෙන ගියා.”
“ඒ එක්කගෙන යන අතරවාරයේදී දුව කෙඳිරි ගාන ශබ්දයත් මට ඇහුණා. ඉක්මනින් අපි එයාව රෝහල්ගත කළාට පස්සේ රාගම රෝහලෙන් එයාව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරය ඒකකයට ඇතුළත් කළා. දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ගනිමින් ඉද්දි ඊයේ රෑ මගේ දුව මාව දාලා ගියා.” මරණය හිසට ඇති වූ බරපතළ තුවාල හේතුවෙන් සිදු වී ඇති බවට මරණ පරීක්ෂකගේ නිගමනය විය.