පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ සහරාන් හෂීම් පිළිබඳව නිසි පරීක්ෂණ නොකළ බවට චෝදනා කරමින් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම හෝ රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් මස 16 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) නියම කළේය. ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු, සම්පත් අබේකෝන් මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී මේ බව තීරණය කෙරිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා, කාන්තා පොලිස් පරීක්ෂිකා නිරෝෂනී පතිරණ, අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කවින්ද පියසේකර, මහජන ආරක්ෂක ඇමැති, අමාත්‍යාංශ ලේකම් නීතිපති ඇතුළු දහ හතර දෙනෙකු මෙහි වගඋත්තරකරුවෝ වෙති.
තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 2017-2019 කටයුතු කළ බව පෙත්සම්කරු සඳහන් කර ඇත. ඉන්පසු වැඩ තහනමට ලක් කළ බව ද දිගු කාලයක් අසාධාරණ ලෙස බන්ධනාගාරගතව සිටි බවද පවසයි. පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වගකිවයුතු බවට චෝදනා කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්නාමික පෙත්සමක් ලැබී ඇති බව ද ඒ මත විමර්ශන කළ බව කියමින් බී වාර්තාවක් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට 2022 පෙබරවාරි මස 10 වැනිදා ඉදිරිපත් කළ බව ද තමන්ට දැන ගැනීමට ලැබුණු බව පෙත්සම්කරු කියයි. තමන්ට එරෙහිව අත්තනෝමතික සහ අසාධාරණ අසත්‍ය ලෙස කරුණු ඇතුළත් කර එම බී වාර්තාව සකස් කර ඇතැයි පෙත්සමේ සඳහන් වේ.
එම වාර්තාව මත තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය විය හැකි බවට පැමිණිලි කරමින් පෙත්සම්කාර ශානි අබේසේකර මහතා ඉකුත් රජය සමයේ දී මේ පෙත්සම ඉදිරිපත් කළේය. නිර්නාමික පෙත්සමක් මත කරන ලද බව විමර්ශන වාර්තාවකට අදාළව තමන්ට එරෙහිව පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වූ මොහොමඩ් සහරාන් පිළිබඳව නිසි පරිදි පරීක්ෂණ නොකිරීම ඇතුළු චෝදනා යටතේ ඉදිරිපත් කර ඇති 1411/2022 දරන එම බී වාර්තාව බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ද මේ පෙත්සම මඟින් ඉල්ලා ඇත.
යම් හෙයකින් තමන් අත්අඩංගුවට ගත හොත් වහාම මුදා හරින ලෙස නියෝග කරන ලෙස ද ඒ වෙනුවෙන් රුපියල් මිලියන සියයක වන්දි මුදල් ලබා දෙන ලෙස ද පෙත්සම්කාර ශානි අබේසේකර මහතා සිය පෙත්සමෙන් ඉල්ලා සිටියි. නීතිඥ මංජුල බාලසූරිය මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත් බණ්ඩාර මහතා පෙනී සිටියේය.