එංගලන්තයේ ප්‍රධානම මෙන්ම විශාලම ගුවන්තොටුපොළ ලෙස සැලකෙන හීත්‍රෝ ගුවන්තොටුපොළ අද (21) දවස පුරා වසාතැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. මෙම ගින්න හේතුවෙන් ගුවන්තොටුපොළ තුළ සැලකිය යුතු විදුලිය බිඳවැටීමක්ද සිදුව ඇති බවත්, මගීන්ගේ සහ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බවත් හීත්‍රෝ ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා ඇත.
හීත්‍රෝ යනු එක්සත් රාජධානියේ විශාලතම ගුවන්තොටුපොළ වන අතර, දිනකට ගොඩබෑම් සහ ගුවන්ගත කිරීම් 1,300ක් පමණ සිදු කෙරේ. පසුගිය වසරේ එහි පර්යන්ත හරහා වාර්තාගත මගීන් මිලියන 83.9ක් ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බටහිර ලන්ඩනයේ හේස් හි උපපොළේ ඇති වූ මෙම ගින්නෙන් නිවාස දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇති අතර, අවට ප්‍රදේශයෙන් පුද්ගලයින් 150ක් පමණ ඉවත් කර ඇතැයි වාර්තා වේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ දහයක් සහ ගිනි නිවන භටයින් 70ක් පමණ යවා ඇති බව ලන්ඩන් ගිනි නිවන ඒ්කකය පවසයි. එමෙන්ම ගින්නෙන් ඇති වූ විදුලිය ඇනහිටීමෙන් නිවාස 16,300කට වැඩි ප්‍රමාණයකට විදුලිය විසින්ධි වී ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.