ගාසා තීරයේ ගුවන් ප්‍රහාර මඟින් 500කට අධික සිවිල් වැසියන් ඝාතනය කළ බවට චෝදනා කරමින් යේමනයේ හවුති කැරලිකරුවන් ඊශ්රායලයට මිසයිල ප්රහාරයක් එල්ල කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ඊශ්රායලයේ බෙන් ගුරියන් ගුවන්තොටුපොළ පිහිටි ජෆා කලාපයට හයිපර් සොනික් මිසයිල ප්රහාරයක් එල්ල කළ බව නිවේදනයක් නිකුත් කරමින් හවුති කැරලිකරුවන් ප්‍රකාශ කර තිබේ.
එම මිසයිල සාර්ථකව ඉලක්ක කරා පතිත වූ බව එම නිවේදනයේ සඳහන් වුවද, හවුති කැරලිකරුවන්ගේ මිසයිල ගුවනේදීම විනාශ කළ බව ඊශ්රායලය ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. මිසයිල ප්‍රහාර එල්ලවීමත් සමඟ ටෙල් අවීව් සහ ජෙරුසලම් නගරවල සයිරන් හඬ පැතිරි ගිය බව ඊශ්රායල පොලීසිය සඳහන් කර ඇති අතර, කිසිදු පුද්ගලයකු බරපතළ තුවාල නොලැබූ බව එරට ගිලන් රථ සේවය තහවුරු කර තිබේ.