ලෝක මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවතම සංකල්පය වන නළ මාර්ගික ( Hyperloop) දුම්රිය සේවාවක් ආරම්භ කිරීමේ අරමුණින් ඉන්දියාව සිය පළමු අත්හදා බැලීම ලබන මස සිදු කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ දුම්රිය අමාත්‍යාංශයේ අරමුදල් යටතේ චෙන්නායි නුවර පිහිටි ඉන්දීය තාක්ෂණ ආයතනය මේ සඳහා එම පරිශ්‍රය තුළ මීටර් 422 ක දුරකින් සමන්විත ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, එහි සාර්ථකත්වය අනාගතයේදී අධිවේගී දුම්රිය ප්‍රවාහන පද්ධතියක් සඳහා තීරණාත්මක අත්හදා බැලීමක් වනු ඇතැයි ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඉන්දීය තාක්ෂණ ආයතනය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ ලෝකයේ ධනවත්ම ව්‍යාපාරිකයකු වන අමෙරිකාවේ එලෝන් මස්ක් වසර 2013 දී හඳුන්වා දුන් සංකල්පයකට අනුව බව ද වාර්තා වේ. අත්හදා බැලීම සඳහා වැඩ අවසන් කළ එම ව්‍යාපෘතිය පසුගියදා නිරාවරණය කර ඇති අතර, මේ වන විට එහි තාක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බව ද වාර්තා වේ. අත්හදා බැලීම සඳහා ආසියාවේ ඉදි කළ දීර්ඝතම දුම්රිය නළ මාර්ගය මෙය බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. අධිවේගී නළ මාර්ගික දුම්රියට පැයට කිලෝමීටර් 1,100ක පමණ වේගයෙන් ගමන් කිරීමේ හැකියාව ඇති අතර, නවදිල්ලි නුවර සිට කිලෝමීටර් 1,500ක දුරින් පිහිටි මුම්බායි නුවරට ළඟාවීමට ගතවන්නේ මිනිත්තු 90ක කාලයක් පමණක් බව ද වාර්තා වේ. අතිනවීන තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය වන නළමාර්ගික දුම්රිය සේවාව අනාගතයේදී ලෝක මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවයක් සිදු කරනු ඇතැයි ජාත්‍යන්තර විද්‍යාඥයන් විශ්වාසය පළ කර තිබේ.