‘ෆ්‍රීඩම් හවුස්’ වාර්තාවෙන් කියයි
ලොව රටවල් අතර දේශපාලන අයිතිවාසිකම් සහ සිවිල් නිදහස සමීක්ෂණයට ලක් කරන ලොව නිදහස් රටවල් 2025 ලැයිස්තුවේ ලකුණු 100න් 100ම ලබමින් ෆින්ලන්තය පළමු ස්ථානයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගෝලීය ප්රජාතන්ත්රවාදය, දේශපාලන නිදහස සහ මානව හිමිකම් පිළිබඳ ගැටලු සම්බන්ධ නිරීක්ෂණය කරන ‘ෆ්‍රීඩම් හවුස්‘ නමැති අමෙරිකානු ආයතනයක් විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන එම වාර්තාව මඟින් දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් ලකුණු 40ක් ද, සිවිල් නිදහස වෙනුවෙන් ලකුණු 60ක් ද ලබා දෙන බවත්, ඒ අනුව ෆින්ලන්තය සම්පූර්ණ ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ලොව නිදහස් රටවල්, අර්ධ වශයෙන් නිදහස් රටවල් සහ නිදහස අහිමි රටවල් වශයෙන් කාණ්ඩ 3ක් යටතේ නිකුත් කර ඇති ලැයිස්තුවට අනුව නවසීලන්තය, නෝර්වේ සහ ස්වීඩනය ලකුණු 99ක් ලබා දෙවැනි ස්ථානයේ සහ කැනඩාව, ඩෙන්මාර්කය, අයිස්ලන්තය සහ ලක්සම්බර්ග් රාජ්‍යය තුන්වැනි ස්ථානයේ පසුවන බවත් වාර්තා වේ.
රටවල් සහ ස්වයං පාලන කලාප 208ක් ඇතුළත් එම ලැයිස්තුවේ ඉන්දියාව (ලකුණු 63), ශ්‍රී ලංකාව (ලකුණු 58), බංග්ලාදේශය (ලකුණු 45) සහ පාකිස්තානය (ලකුණු 32) අර්ධ නිදහස් රටවල් ලැයිස්තුවට ඇතුළත් වන අතර, රුසියාවට අයත් යුක්රේන කලාප සෘණ ලකුණක් ලබා අවසන් ස්ථානයේ සහ දකුණු සුඩානය එක් ලකුණක් ලබා 207 වැනි ස්ථානයේ පසුවන අතර, ගාසා තීරය සහ සුඩානය ලකුණු 2ක් ලබා 206 වැනි ස්ථානයට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. රුසියාව ලකුණු 12ක් සහ චීනය සහ සෞදි අරාබිය ලකුණු 9ක් ලබා නිදහස අහිමි රටවල් ලැයිස්තුවට ඇතුළත්ව සිටින බව ද වාර්තා වේ.