ඔහු විසිහතර වියේ පසුවූ තරුණයෙකි. තම උත්සාහයෙන් නැඟී සිටීමට වෙර දරන අයෙකි. පොල් මිලදී ගෙන කොප්පරා නිෂ්පාදනය ඔහුගේ ප්‍රධාන ජීවනෝපායයි. මීට අමතරව වී ගොවිතැන් කටයුතු ද කළේය. හේ තරමක් මසුරුකමින් යුත් අයෙකු බව ගම්මු දැනගත්හ. ඒ නිසාම ගමේ තරුණ පිරිසක් එක්ව ධනපාලට ලණුවක් දුන්නේය. ඔහුට හොඳ නරක දෙක කියාදීමට හිටියේ සහෝදරිය පමණි. ඇතැම් අවස්ථාවල ඇය කියන දෙයක්වත් කනකට ගන්න මොහු කටයුතු කළේ නැත.
මේ දිනවල පොල් මිල අධික නිසා එක්තරා ආයතනයකින් පොල් බූවලු ද මිල දී ගන්නා බව ගම්මු ඔහුට කියා තිබිණි. පොල් ගෙඩියක් රුපියල් දෙසීයක් වැනි අධික මිලකට අලෙවි වන නිසා පොල් බූවල්ලක් රුපියල් සියයකට එම ආයතනය මිලදී ගන්නා බව තරුණයෝ ඔහුට කීහ.
‘‘මලයෝ, ඔය ගමේ එව්වෝ දෙන දිරච්චි ලණු කන්න එපා බං” මේ කතාව කනවැකුණු ඔහුගේ සහෝදරිය ඔහුට කීවාය.
‘‘අනේ උඹ දන්න ඉටිගෙඩිය. පොල්වලට වඩා පොල් බූවලු විකිණෙනවාලු. මට අර උඩහගෙදර මහින්දයා කිව්වා හොඳ කොම්පැණියක් අල්ලලා දෙන්නම් කියලා බූවලු විකුණන්න. මට කිව්වා ලොරියකට හරියන්න එකතු කර තියාපං කියලා. මට කොහොම හරි වාහන කෑල්ලක් බස්සගන්න ඇහැකි නේ බං එතකොට ගමේ එකාලට ‘හෑස්“ ගෑවෙන්න.“
සහෝදරියටත් බැණ බැණ ඔහු ගමේ මිත්‍රයන්ගේ අදහසට කැමැති විය.
පසුව, පොල් බූවලු එකතු කිරීමෙන් අධික ලාභයක් ලැබිය හැකි බව සිතූ මොහු, පොල් මිලදී ගැනීමට අමතරව පොල් බූවලු ද මිල දී ගත්තේය. ඔහු ගමේ පොල් ඉඩම් හිමියන්ගෙන් බූවල්ලක් මිලදී ගත්තේ රුපියල් පනහකටය. ඔහුගේ එකම හීනය වූයේ පොල් බූවලු විකිණීමෙන් කාර් රථයක් මිලදී ගැනීමය. ඔහුගේ නිවස ඉදිරිපිට මිල දී ගත් පොල් බූවලු ගොඩ දෙස බලා තරුණ පිරිස යටි සිතෙන් සිනාසෙන්න වූහ. සති ගණනාවක් පොල් බූවලු මිලදී ගත් ධනපාලට පොල් බූවලු විකුණා ගැනීමට කිසිදු ආයතනයක් සොයා ගත නොහැකි විය. වැස්සට තෙමෙමින් අව්වට වේළෙමින් පොල් බූවලු නිවස ඉදිරිපස මිදුලේ දිරාපත් වන්න වූයේ ඔහුගේ ‘‘කාර්” සිහිනය ද දිරායමිනි. අවසානයේ ඔහුට සිදුවූයේ දිරාපත් වූ බූවලුවලට ගිනි තැබීමටය.
අන් අයගේ කීමට කිසිම විමසීමකින් තොරව පොල් බූවලු මිලදී ගෙන මුදල් නාස්ති කළ මොහුට අවසානයේ ඉතිරි වූයේ Òබූවල්ලාÓ යන නාමයක් පමණි.
“දැන් උඹට සනීප ද මලයෝ. ලස්සනට අම්මා තාත්තා දීපු නමටත් වඩා හොඳ නමක් නේ දැන් උඹට ලැබුණේ” අන්තිමේදී ඔහුගේ සහෝදරිය කීවේලු.
මාදම්පේ සමූහ
ඒ.පී. ගුණරත්න