සිනමාවත් සංචාරක කර්මාන්තයත් ඔසවා තැබීම මගේ අරමුණයි
‘හවුස් ෆුල්’ සිනමා නිෂ්පාදක – මොහාන් පෙරේරා
බොහෝ දෙනාගේ හඳුනා ගැනීම ඔහු දේශපාලනඥයෙකු ලෙසටය. කෙසේ වෙතත් ඔහු සිනමා කර්මාන්තයටද අත ගසා සිටී. මේ වන විට ඔහු සිනමා පට තුනක් සඳහා නිෂ්පාදන දායකත්වය ලබාදී ඇත. මොහාන් පෙරේරා නම් වන මොහු නිෂ්පාදනය කළ ‘හවුස් ෆුල්’ සිනමාපටය නුදුරේදීම ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීමට නියමිතය. මේ කතා බහ දිගහැරෙන්නේ ඒ වෙනුවෙනි.
ඔබ දේශපාලනඥයෙක්. සිනමාවට ඔබේ ආගමනය සිදුවන්නේ කොහොමද ?
1998 වර්ෂයේ පටන් මම ටෙලිෂන් සහ රේඩියෝවලට සම්බන්ධ වෙලා කටයුතු කළා. ඒ වගේම මාධ්‍ය ආයතන කිහිපයකටමත් සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩලවලත් කටයුතු කළා. ඒ වගේම මම EAP මාධ්‍ය ජාලයේ අධ්යක්ෂවරයෙක් විදිහටත් වැඩ කටයුතු කළා. චිත්‍රපටවලටත් එහිදී සම්බන්ධ වුණා. විදේශීය ප්‍රසංග කිහිපයකටම අපි යොමු වෙලා කටයුතු කළා. සිරස සහ EAP මාධ්‍ය ජාලය සමඟ සම්බන්ධ වෙලා කටයුතු කළ නිසා චිත්‍රපට ගැනත්, ප්‍රසංග ගැනත්, මට වඩා හොඳ දැනුමක් වගේම ඇල්මකුත්, වැටහීමකුත් ඇති වුණා. ඒ වගේම සිනමාව ගැන විශේෂ උනන්දුවක් සහ කැමැත්තක් ඇති වුණා කිවුවොත් ඒක නිවැරදියි.
ඔබ චිත්‍රපට නිෂ්පාදක භූමිකාවට ප්‍රවිෂ්ට වන්නේ කොතැනින්ද ?
ඒක ඇත්තටම අහම්බෙන් සිදුවුණු දෙයක්. මට ගොඩක් චිත්‍රපට අධ්යක්ෂවරු චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නැයි ආරාධනා කළා. ඔහොම ඉන්න කාලේ එක දවසක් ඩුබායි ඉඳලා ආපු ආයෝජකයෝ පිරිසක්, ඉන්දියන් අයත් එක්ක චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න කැමැත්ත පළ කළා. ඒ මීට වසර දෙකකට පමණ පෙර. මම එයට සම නිෂ්පාදකයෙක් විදිහට සම්බන්ධ වුණා. ඒක මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජීවන කතාව අලළා සැකැසූවක්. නමුත් ඒක කරන්න ලැබුණේ නෑ, කල් ගියා. ඔය අතරේ තමයි, සුනිල් ටී ප්‍රනාන්දු මහත්මයා, එයාගේ 75 වන චිත්‍රපටයට නිෂ්පාදනයෙන් සම්බන්ධ වෙන්න කියලා මා පසුපස ඇවිත් ඇවිටිලි කළේ. ‘ටික් ටොක්’ කියලා අපි මේකට නමකුත් දා ගත්තා. ප්‍රධාන භූමිකාවට රන්ජන් රාමනායකව යොදා ගන්න තීරණය කළා. ඒත්, ඔහුගේ කාර්යබහුලත්වය චරිතයට සම්බන්ධ කරගන්න නොහැකි වුණා.
ඔබ සිනමා කර්මාන්තයට ප්‍රවිෂ්ට වෙන්නේ ඇයි ?
මම පළවෙනි චිත්‍රපටය කළේ නම් අත්දැකීමක් ලබන්නයි. ඒ වගේම පළපුරුද්දක් ගන්නයි. මගේ දෙවැනි චිත්‍රපටය ‘SSS’ කියලා එකක්. ඒක ඉන්දියන් චිත්‍රපටයක්. එහි අධ්යක්ෂවරයා ඉන්දියන් අයෙක්. ඔහු ජේ. ආකාශ්.
‘හවුස් ෆුල්’ ඔබේ තෙවැනි සිනමාපටය. මෙහි නිෂ්පාදන දායකත්වය පිළිබඳව තවදුරටත් කතා කරමු ?
‘හවුස් ෆුල්’ සිනමාපටයට 100% ක්ම මුදල් වියදම් කළේ මමයි. සුනිල් ටී ප්‍රනාන්දු මහත්මයා කියන්නේ, MPI මණ්ඩලයේ සිටි කළමනාකාර අධ්යක්ෂවරයා. ඔහුට බොහෝ අත්දැකීම් තියෙන නිසා චිත්‍රපටය සම්බන්ධ අනෙක් කටයුතුවලට ඔහු සම්බන්ධ කර ගත්තා. නමුත් සියලු බරපැන යෙදෙව්වේ මමයි. ‘හවුස් ෆුල් ‘ නිෂ්පාදකවරයා මමයි. තව්තිසා’ පික්චර්ස් (පුද්)සමාගම ඉදිරිපත් කිරීමක්. අධ්‍යක්ෂණය කළේ ලාල් ප්‍රියදේව.
ඔබ ‘SSS’ සහ ‘හවුස් ෆුල්’ සිනමාපට දෙකකට එකවර සම්බන්ධ වුණේ කොහොමද ?
ඡන්ද කටයුතු නිසා ප්‍රමාද වෙලා තිබුණත් ‘ටික් ටොක්’ එක තමයි ‘හවුස් ෆුල් ‘ වුණේ. ‘ හවුස් ෆුල්’ චිත්‍රපටයට නළු නිළියන් 80ක් සහභාගි වෙනවා. මං හිතන්නේ මේක ලංකාවේ වැඩිම පිරිසක් රංගනයෙන් දායක වුණු එකම කොමඩි චිත්‍රපටය. ප්‍රධාන ධාරාවේ නළු නිළියන් 22ක් ඉන්නවා. හවුස් ෆුල් ඉවර වුණාම අපි ‘sss’ වැඩ කටයුතු නිම කරලා අගෝස්තු අන්තිමට ප්‍රදර්ශනය කරන්නත් අපි අදහස් කරගෙන ඉන්නවා.
‘හවුස් ෆුල්’ ප්‍රධාන නළු නිළි යුවළ විදිහට චුලක්ෂි සහ ඉසුරු තෝරා ගන්න විශේෂ හේතුවක් තියෙනවාද ?
චුලක්ෂිව තෝරා ගන්න පෙර කිහිප දෙනෙකුටම කතා කළා. ඉසුරුට ගැළපෙන චරිතයක් විදිහට තමයි චුලක්ෂිව ගත්තේ. ඒ වගේම ‘හවුස් ෆුල්’ වැඩ ටික ඉක්මනින් කරන්න ඕන නිසා තවත් හිතන් හිටපු චරිත වෙනස් කරලා වැඩ කටයුතු ඉක්මන් කළා.
‘හවුස් ෆුල්’ ප්‍රදර්ශනයට විවෘත කරන්නේ කවදාද ?
අවුරුදු නිවාඩුවත් එක්ක අප්‍රේල් 17 වැනිදා ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් මැයි මස ප්‍රදර්ශනය සිදු කෙරෙනවා.
අපි ‘SSS’ ගැන කතා කරමු ?
තිර රචනය කළේ ඉන්දියානු තිර රචකයන් කිහිපදෙනෙක් එකතු වෙලා. මෙහි අධ්යක්ෂවරයා සහ ප්‍රධාන නළුවා වන්නේ ජේ. ආකාශ්. එයා 09 වරක්ම කණ්ණඩ සහ තෙළිඟු චිත්‍රපටවල හොඳම නළුවා වෙලා තියෙන කෙනෙක්. එයාට ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක් කරන්න ඕන වෙලා තිබුණා. ඒකට අපේ නළු නිළියොත් සම්බන්ධ කරගත්තා. අසංකි, ගිහානි වීරසිංහ, ශේෂාද්‍රි, රෂිපබා ඇතුළු කිහිප දෙනෙක් රංගනයෙන් දායකත්වය සපයනවා. ඒ වගේම ඉන්දියානු නළු නිළියන් හත් දෙනෙක් සම්බන්ධයි. ‘SSS’ පළමු අදියරය කොළඹ ආශ්‍රිතව රූගත කළා. ඊට පස්සේ ලංකාවේ ආකර්ෂණීය ප්‍රදේශ කිහිපයක් තෝරගත්තා, නුවරඑළියත් ඇතුළත්ව. එයින් බලාපොරොත්තු වුණේ සිනමා කර්මාන්තයට වගේම සංචාරක කර්මාන්තයටත් අතහිත දෙන්නයි. ඉන්දියාව, ලංකාව සහ තායිලන්තය කියන රටවල් තුනේම රූගත කිරීම් සිදුකෙරෙනවා. තවත් දවස් පහළොවක් පමණ රූගත කිරීම් කරන්න නියමිතයි.
සිනමා කර්මාන්තයට සම්බන්ධ වීම ගැන ඔබට යම් අදහසක් ඇති ?
අපි ‘සවුත් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සර්විසස්’ කියලා පුද්ගලික කොම්පැණියක් හැදුවා. ඒකේ අරමුණ ඉන්දියානු චිත්‍රපටි ගෙන්වීමයි. විශේෂයෙන් දකුණු ඉන්දියානු චිත්‍රපට. ඉන්දියානු ආයෝජකයින් මෙයට සම්බන්ධයි. මේක ඉන්දියා හා ශ්‍රී ලංකා ජොයින්ට් එකක්. මෙයින් අදහස් කළේ ලංකාවේ සංචාරක කර්මාන්තයත්, සිනමා කර්මාන්තයක් නඟා සිටුවීමයි. ඒ වගේම තව්තිසා පික්චර්ස් කියන්නේ අපේ ලංකාවේ සමාගම. අපි මේ හරහා ඉන්දියාව ඇතුළු ආසියානු සිනමාපට ගෙන්වනවා. ඉන්දියානු සිනමාවෙන් අපට මුදල් උපයන්න පුළුවන්.
සිනමා කර්මාන්තයේ ප්‍රායෝගික භාවිතයන් පිළිබඳ ඔබේ අදහස කුමක් ද ?
බොහෝ දෙනෙක් දන්නේ නෑ, මට මේ ක්ෂේත්රයට සම්බන්ධ දිගු සම්බන්ධතාවක් හා අත්දැකීමක් තියෙනවා කියලා. කර්මාන්තයට ආව ගමන් ගොඩක් අය හිතන්නෙ අලුත් නිෂ්පාදකයෙක් ඉන්නවා හොර කරන්න පුළුවන් කියලයි. ඉතාම කනගාටුදායක තත්ත්වය තමයි, ‘හවුස් ෆුල්’ මුහුරත් දවසෙම එක් අයෙක් ලක්ෂ පහකට වැඩි මුදලක් වංචා කළා. හොරකම් කළා. රූගත කිරීම් කරනකොටත්, පුළුවන් තරම් මුදල් ගසා කෑවා. එහෙම දරුණු විදිහට සල්ලි අපතේ හැරියෙ නැත්නම් මේ වෙන විට හරි නම් චිත්‍රපටි 5ක් විතර කරන්න තිබුණා. ලංකාවේ මේ අයත් එක වැඩ කරන්න හරි අමාරුයි. මේ අය කම්මැළියි. මුදල් සම්බන්ධයෙන් නම් කටයුතු කරන එක ඉතාම භයානකයි. පුළුවන් තරම් බලන්නේ හොරකම් කරන්න. දියුණු වෙන්න කැමැති නෑ. මේ නිර්මාණය ඉතාම උසස් විදිහට කරලා, එයින් මුදල් හම්බ කරලා ඉන් තමන්ගේ දියුණුවත් එන විදිහට වැඩ කටයුතු කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතා කෙටි ක්‍රම මඟින් දවසෙන්, දෙකෙන් මුදල් හොයාගන්නයි මේ අය බලන්නේ. තාක්ෂණ ශිල්පීන් හා නිෂ්පාදනයට සම්බන්ධ අය ලෝක හොරු. මේකට ලොකු පියවරක් ගත යුතුයි. ඊට චිත්‍රපට සංස්ථාවත් මැදිහත් විය යුතුයි. විදේශීය නළු නිළියන් චිත්‍රපටයකට සම්බන්ධයි නම් ඔවුන් මෙච්චර කල් කරලා තියෙන්නේ නිෂ්පාදකයා බිය ගන්වලා මුදල් ගසා කෑමයි. මම මේ ගැන පොලීසියට පැමිණිලි කළා. ඒ වගේම මෙවැනි අය අපි ඉදිරියේදී කිසිම නිර්මාණයකට දායක කරගන්නේ නෑ. මෙවැනි දේවල් සිදු නොවුණානම් ඉන්දියානු චිත්‍රපට හතරක් පමණ මේවන විටත් ඇවිත්. ක්ෂේත්රයට ඇවිත් පදම් වුණු අයගේ මේ පිළිකාව ඔඩු දුවලා ඉවරයි. අපි නවක, දක්ෂ හැකියාව ඇති, උගත් අය තෝරා ගන්නවා. විශේෂයෙන් විශ්වවිද්‍යාලවල අය සම්බන්ධ කරගන්න අදහසක් තියෙනවා. ඉන්දියානු අධ්යක්ෂවරු ගෙනැල්ලා ඒ අයට උගන්වනවා. පුහුණු කරනවා. ඒ වගේම අපි කැමරා ආම්පන්න සියල්ල ගේනවා. නවක ශිල්පීන් සම්බන්ධ කරගෙන ඒ අයට වැඩි පඩියක් දීලා හරි හොරකම් නොකරන තැනකට ගේනවා.
කපුටු කොහෝ දිවයින පුරා
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක ගේය පද රචනා කොට, තිර රචනය සහ අධ්‍යක්ෂණය කළ නවතම සංගීතමය වේදිකා හා සිනමා පර්යේෂණාත්මක නිර්මාණය ‘කපුටු කොහෝ’ මාර්තු 27 දා සිට රිද්මා මණ්ඩලයෙන් දිවයින පුරා සිනමා ශාලාවල තිරගතවීම ඇරඹේ. සහෝදරත්වය, ජාතික සමගිය හා සහජීවනය මූලික කරගනිමින් නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය ජන සංගීත නාද රටා හා දේශීය නර්තන රටාවලින් සමන්විත වේ. සාම්ප්‍රදායික වේදිකා නාට්‍යය ශෛලිය හා සිනමා තාක්ෂණය සම්මිශ්‍රණය වූ පර්යේෂණාත්මක නිර්මාණයක් ලෙස මෙය දැක්විය හැකියි.
අමන්ද්‍යා උත්පලී, හර්ෂන දිසානායක, අභිලාසි සන්තොස්කි, ඩිලාන් වික්‍රමසිංහ, රංගන දායකත්වය ලබාදෙන අතර රඳීන් රන්දිව්, සනුලි දුල්සේයියා, රුසිරු විදුනිත, සමඟ සිහේලී තූර්යා ළමා රංගනයෙන් එක්වෙති. සංගීත අධ්‍යක්ෂණයෙන් මහාචාර්ය සමන් පනාපිටිය, නර්තන අධ්‍යක්ෂණයෙන් චන්දන වික්‍රමසිංහ, කැමරා අධ්‍යක්ෂණයෙන් විශ්වා බාලසූරිය දායකවන අතර නිෂ්පාදන කළමනාකරණය හා නිෂ්පාදනය රේණුකා බාලසූරිය ගෙනි.
ඉන්දියානු විචාරක සම්මාන උලෙළේ හොඳම සහාය නළුවා
2025 ඉන්දියානු විචාරක සම්මාන උලෙළේ ‘පැරඩයිස්’ චිත්‍රපටයේ සාජන් බණ්ඩාරගේ රංගනය වෙනුවෙන් හොඳම සහාය නළුවා ලෙස රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා නිර්දේශ වී ඇත. ප්‍රසන්න විතානගේ ‘පැරඩයිස්’ සිනමා නිර්මාණය ඉන්දියානු විචාරක සම්මාන උලෙළේ හොඳම සිනමාපටය ලෙස නිර්දේශ නාම අතරට තේරී පත්ව ඇත.
එය ලාංකේය අධ්යක්ෂවරයකුගේ නිර්මාණයක් ඉන්දියානු විචාරක සම්මාන උලෙළේ නිර්දේශ වූ ප්‍රථම අවස්ථාවයි.
හොඳම සංස්කරණයට ඒ. ශ්‍රීකර් ප්‍රසාද් සහ හොඳම නිළියට දර්ශනා රාජේන්ද්‍රන් ද නිර්දේශ වී ඇත. මෙවර ඉන්දියානු විචාරක සම්මාන උලෙළ 2025 මාර්තු 25 ඉන්දියාවේ දී පැවැත්වීමට සූදානම් කර ඇත.
ශේෂ රට වටේ
ඉසුරු ගුණතිලක අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කළ ‘ශේෂ’ මාර්තු 23 ප්‍රංශයේ පැරිස් නුවරත් 30දා ඉතාලියේ මිලානෝ සහ කෝමෝ නගරවලත් තිරගත කිරීමට කටයුතු යොදා ඇත. චන්දන වික්‍රමසිංහ, උමාලි තිලකරත්න, මල්කාන්ති ජයසිංහ, යොහන් ජේස් ශිල්පීන් මෙම උත්සව වර්ණවත් කිරීම සඳහා සහභාගී වේ.
සංගීතය ගයත්‍රී කේමදාස ගෙනි. නර්තන අධ්‍යක්ෂණය රවිබන්දු විද්‍යාපතිගෙනි. කෑන්ස් වර්ල්ඩ් සිනමා තරගයේ හොඳම නර්තනයට හිමි සම්මානය ඉසුරු ගුණතිලක ලබා ගෙන ඇත. ‘ශේෂ’ මලයාසියාව, අෙමරිකාව සහ කැනඩාවේදී ඉදිරියේදී තිරගත කිරීමට කටයුතු සංවිධානය කර ඇත.
තොණ්ඩුව කරලියට
ප්‍රේමරත්න රූපසිංහගේ නාට්‍ය නිර්මාණයක් වන ‘තොණ්ඩුව’ ලෝක නාට්‍ය දිනයට සමගාමීව මාර්තු මස (27) වන දින සවස 6.00 ට එච්.කේ ධර්මදාස විද්‍යාලීය රංගශාලාවේදී වේදිකාගත වීමට නියමිතය. චින්තක පතිරණ, සුභාෂ් සම්පත්, ටෙනිසන් ගමගේ, සමින්ද සංජීව, ආනන්ද පොල්ගහවෙල ඇතුළු නළු නිලියන් රැසක් මේ සදහා රංගනයෙන් දායක වෙති. නාට්‍ය නිෂ්පාදනය ඇසි දිසි කලා සංසදයෙනි. මෙය ප්‍රේමරත්න රූපසිංහ මහතාට ශ්රවනාධාරයක් ලබා ගැනීම පිණිස සංවිධානය කරනු ලබන්නකි.
ලොව ප්‍රථම අගමැතිනිය ගැන වාර්තා චිත්‍රපටයක්
සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය පිළිබඳව නිපැයුණු වාර්තා චිත්‍රපටයක් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් තුර්කියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය විසින් අන්කාරා සහ ඉස්තාන්බුල් නගරවලදී පසුගියදා ප්‍රදර්ශනය කරන ලදි. අනෝමා රාජකරුණා මහත්මිය මෙම වාර්තා චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර තිබේ. සිරිමාවෝ මැතිනියගේ පෞද්ගලික සහ දේශපාලන ගමන මෙම වාර්තා චිත්‍රපටය මඟින් විදහා තිබිණි.
අන්කාරා මෙට්‍රොපොලිටන් මහ නගර සභා රඟහලේදී සහ ඉස්තාන්බුල්හි ඉස්තාන්බුල් මෙඩෙනියෙට් විශ්ව විද්‍යාලයේ චිත්‍රපට ප්‍රදර්ශන පැවැත්විණි. තුර්කි ගුවන් සේවය මේ සඳහා සත්කාරකත්වය ලබා දී තිබේ. මීට සිරිමාවෝ මැතිනියගේ දියණියන්, මුණුබුරන් සහ හිටපු රජයේ නිලධාරීන් සමඟ සමීප සංවාද හරහා, මව් සහ අත්තම්මා පදවිවල මෙන්ම පුරෝගාමී රාජ්‍ය කාන්තාවක් ලෙස ඇගේ බොහෝ මානයන් ග්‍රහණය කර තිබේ.
ශ්‍රීමත්ගෙන් ආරාධනාවක්
‘කටහඬ’ නිවේදක පාඨමාලාවේ 358 කණ්ඩායමට නවක සිසු සිසුවියන් බඳවා ගැනීම දැන් ආරම්භ කොට ඇත. ගුවන් විදුලි, රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්රයට, ප්‍රසංග වේදිකාවට අදාළ නිවේදක කලාවේ සකලවිධ අංශ පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් මෙතුළින් ලබා ගත හැකිය. පාඨමාලාවේ කාලසීමාව වන්නේ මාස තුනකි. මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ විසිනි. සෙනසුරාදා සහ ඉරිදා පෙරවරු 9.30 සිට පස්වරු 1.00 දක්වා කණ්ඩායම් දෙකක් වශයෙන් මිරිහාන, නුගේගොඩ සහ පිටකෝට්ටේ යන ස්ථානවල පන්ති පැවැත්වේ. වයස අවුරුදු 7 සිට 77 දක්වා සැමට විවෘත වේ. වැඩි විස්තර අධ්‍යක්ෂ කටහඬ මාධ්‍ය කේන්ද්‍රය, 55, බුවනෙකබා මාවත මිරිහාන, නුගේගොඩ ලිපිනයෙන් ලබා ගත හැකියි.
කලා ලොවට නව වෙබ් අඩවියක්
ශ්‍රී ලාංකේය කලාවේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් නිර්මාණය වූ www.artists.lk වෙබ් අඩවිය සහ ජංගම යෙදුම මාර්තු මස 22 සෙනසුරාදා ජනගත වේ. මෙම ජනගත කිරීම සහ ප්‍රාසාංගික උලෙළ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පස්වරු 2.30ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
චක්‍රායුධම් 23 දා
සචිත්‍ර රාහුබද්ධ නාට්‍ය නිර්මාණයක් වන ‘චක්‍රායුධම්’ වේදිකා නාට්‍යය මාර්තු 23 දා දර්ශන වාර 02ක් බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හිදී වේදිකාගත වේ. මෙම වේදිකා නාට්‍යය සංවිධානය කරනු ලබන්නේ ‘කරළිය’ විසිනි. නිශ්ශංක විජේරත්න