ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරනු ලැබූ ප්‍රහාරයට මූලික වූ හේතු සාධක සහ එම ප්‍රහාරය හේතුවෙන් ලාංකේය මෙන්ම ලෝක දේශපාලන ආර්ථික තත්ත්වයන් අතර සිදුවන වෙනස්කම් පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පවිත්‍රා ජයවර්ධන මහත්මිය සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසුණි.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර සහ එම ප්‍රදේශය තුළ දිගටම පවතින ගැටුම් ලෝක ප්‍රජාව තුළ දැඩි සංවාදයකට ලක්ව ඇත. මිලියන 2කට අධික ජනගහනයක් මෙහි වෙසෙති. මේ ප්‍රදේශය හමාස් සංවිධානය විසින් පාලනය කරන අතර, ඊශ්‍රායලය විසින් එය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇත. ගුවන් ප්‍රහාර, යුද ටැංකි සහ බිම් හමුදා මෙහෙයුම් මඟින් ඊශ්‍රායල හමුදා මේ ප්‍රහාරය සිදු කර ඇති අතර, හමාස් සංවිධානයේ නායකයින්, මූලස්ථාන සහ අවි ගබඩා ඉලක්ක කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඇතැම් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන ද හමාස් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පිළිගෙන ඇත. මේ ගැටුම ලෝකයේ සෑම රටකටම බලපෑම් එල්ල කරමින් තිබෙන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට සිය විදේශ ප්‍රතිපත්ති සකස් කිරීමේදී සුවිශේෂී අභියෝගයන්ට මුහුණ දීමට සිදුව ඇත.
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර වර්තමාන ගැටුම් දශක ගණනාවක් පුරා පැවත එන සංකීර්ණ ඉතිහාසයක් සහිත අර්බුදයේ තවත් එක් අදියරක් පමණකි. ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් යානා දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. හමාස් සංවිධානයට අයත් “ත්‍රස්ත ඉලක්ක” ලෙස හඳුන්වන ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) පැවසීය. ජනවාරි 19 වන දා සටන් විරාමය ආරම්භ වීමෙන් පසු ගාසා වෙත එල්ල වූ විශාලතම ගුවන් ප්‍රහාර මාලාව මෙය වේ. මේ හේතුවෙන් ඉතාමත් ඛේදනීය ආකාරයෙන් පලස්තීනයේ හමාස් සිවිල් වැසියන් බොහෝ ප්‍රමාණයකට ජීවිත හානි සිදු විය. ඉන් බොහෝ ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මැදපෙරදිග සාමය සඳහා වූ උත්සාහයන් දිගින් දිගටම අසාර්ථක වීම නිසා දෙපාර්ශ්වයටම විසඳුමක් සොයාගත නොහැකිව ඇත. ඇතැම් විශ්ලේෂකයන්ගේ මතය වන්නේ සාකච්ඡා මාර්ගයෙන් යුදමය ප්‍රශ්න හා ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් විසඳා ගැනීමට ඇති අපහසුතාව මේ ගැටුම තුළින් පෙන්නුම් කරන බවයි. ගාසා තීරයට එල්ල වන ප්‍රහාර හා ඒවායේ විපාක ලෙස සිවිල් ජනතාවට සිදුවන හානි සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව තුළ විවිධ මත පළවෙමින් පවතී. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ විවිධ මානව හිමිකම් සංවිධාන ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග විවේචනය කර ඇති අතර, ඊශ්‍රායලය පවසන්නේ ඔවුන්ගේ ක්‍රියාමාර්ග ත්‍රස්තවාදයට එරෙහිව සහ ස්වයං ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බවයි.
ගැටුම් දිගින් දිගටම
ඊශ්‍රායල – ගාසා ගැටුම සම්බන්ධයෙන් ලෝකය බෙදී ඇති ආකාරය සුවිශේෂීය. අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ සමහර යුරෝපීය රටවල් ඊශ්‍රායලයට සහාය දක්වන අතර, අරාබි රටවල් සහ බොහෝ ගෝලීය දකුණු රටවල් පලස්තීන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිති. යුරෝපීය රාජ්‍යයන් අතර පවා මේ සම්බන්ධයෙන් එකඟතාවක් නොමැති අතර, විවිධ රටවල් විවිධ ස්ථාවරයන් ගෙන ඇත. ගැටුම් දිගින් දිගටම යෑමත් සමඟ ජාත්‍යන්තර ප්‍රජාව තුළ තත්ත්වය තවත් සංකීර්ණ වී ඇත. ඇතැම් බටහිර රටවල් ඊශ්‍රායලයට තවමත් ආරක්ෂක සහ දේශපාලන සහාය දක්වන අතර, එම රටවල් තුළම සිවිල් සමාජ සංවිධාන සහ ජනතාව ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග විවේචනය කරමින් සිටිති. මේ තත්ත්වය තවත් බැරෑරුම් වන්නේ, මෙම තත්ත්වය සම්බන්ධයෙන් ගන්නා ස්ථාවරය එම රටවල් අතර දේශපාලන සහ ආර්ථික සබඳතා කෙරෙහි බලපෑම් එල්ල කළ හැකි බැවිනි.
වර්තමාන ලෝකයේ ආර්ථික හා දේශපාලන සබඳතා එකිනෙක මත බෙහෙවින් රඳා පවතින අතර, එක් රටක සිදුවන ගැටුමක් සමස්ත ලෝකයටම බලපෑම් කළ හැකිය. නූතන ගෝලීයකරණය හේතුවෙන් කිසිදු රටකට තනිව ස්වාධීන තීරණ ගත නොහැකි තත්ත්වයක් උදාවී ඇත. ඊශ්‍රායල – ගාසා ගැටුම තවදුරටත් උත්සන්න වීම, ලෝක ආර්ථිකයට සහ ජාත්‍යන්තර සබඳතාවලට බලපෑම් ඇති කරමින් සිටියි. මෙහිදී ලෝක නායකයින් සහ ජාත්‍යන්තර ආයතන මේ ගැටුම විසඳීම සඳහා වඩාත් ක්‍රියාකාරී ප්‍රවේශයක් අනුගමනය කළ යුතුය. ගැටුම් නිරාකරණයේදී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සාමය ඇති කිරීමට නම්, ජාත්‍යන්තර සමුළු, සාකච්ඡා සහ මැදිහත්වීම් අවශ්‍ය වේ. එහෙත් වර්තමාන තත්ත්වය අනුව, ජාත්‍යන්තර සංවාදය බෙදී ඇති අතර, රටවල් තමන්ගේ වාසිය සඳහා විවිධ ස්ථාවරයන් ගැනීම ගැටුම තවදුරටත් සංකීර්ණ කරයි. මෙය දේශපාලන, ආර්ථික සහ ආගමික වශයෙන් සංවේදී ප්‍රශ්නයක් බවට පත්ව ඇති අතර, එහි විසඳුම පහසුවෙන් සොයාගත හැකි නොවේ.
මෙවැනි තත්ත්වයක් තුළ, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට, මේ ගැටුම සම්බන්ධයෙන් ස්ථාවරයක් ගැනීම ඉතා සංවේදී කාරණයකි. එක් පැත්තකට වැඩි නැඹුරු වීම අනෙක් පැත්තේ රටවල් සමඟ ඇති සබඳතා අනතුරට පත් කිරීමට හේතු විය හැකිය. මේ නිසා, බොහෝ රටවල් සමබර ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලබති.
ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් මෙවැනි ජාත්‍යන්තර ගැටුමක් සම්බන්ධයෙන් කටයුතු කරන විට මුහුණ දෙන ප්‍රධාන ගැටලුව නම්, තම විදේශ ප්‍රතිපත්තිය නිසි ලෙස සකස් කරගැනීමයි. වර්තමාන ශ්‍රී ලංකා රජය සමබර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර, කිසිදු රටක් අප්‍රසන්න නොකර සියලු රටවල් සමඟ මිත්‍රශීලිව කටයුතු කිරීමට උත්සාහ දරයි.
එසේම, ඊශ්‍රායල – ගාසා ගැටුම වැනි තත්ත්වයකදී, ජාත්‍යන්තර සංවිධානවල ඡන්ද විමසීම්වලදී හෝ ප්‍රකාශයන් නිකුත් කිරීමේදී ශ්‍රී ලංකාවට පැහැදිලි ස්ථාවරයක් ගැනීමට සිදුවෙයි. මෙවැනි අවස්ථාවලදී ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග නම් ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග විවේචනය කිරීම සදාචාරාත්මක වශයෙන් නිවැරදි විය හැකි නමුත්, ඊශ්‍රායලයට සහාය දක්වන බටහිර රටවල් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන සබඳතා ද වැදගත්ය. මෙම සබඳතා අනතුරට පත් කිරීම ජාතික අවශ්‍යතාවන්ට අහිතකර විය හැකිය. එසේම ශ්‍රී ලංකාව ගෝලීය දකුණේ රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. මේ රටවල් බොහොමයක් පලස්තීන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අතර, මේ කඳවුරට එකතු වීම ශ්‍රී ලංකාවට යම් පීඩනයක් ඇති විය හැකිය. තවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව ගාසා තීරයේ මානුෂීය අර්බුදය ගැන අවධානය යොමු කර ඇත. මේ තත්ත්වය තුළ, ශ්‍රී ලංකාව ලෙස ජාත්‍යන්තර නීතිය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම වැදගත් වන අතර, එය ද ශ්‍රී ලංකාවේ ස්ථාවරයට බලපෑම් කරයි. අවසාන කරුණ නම් ශ්‍රී ලංකාව තුළ ද මේ ගැටුම සම්බන්ධයෙන් විවිධ මත පවතී. සමහර කණ්ඩායම් පලස්තීන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අතර, තවත් සමහරුන් වඩාත් සමබර ප්‍රවේශයක් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටිති.
විදේශ ප්‍රතිපත්ති
ශ්‍රී ලංකාවට මේ ගැටුම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නීතිය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටිය යුතුය. එලෙසම ශ්‍රී ලංකාව සිය විදේශ ප්‍රතිපත්තියේ සමබරතාව පවත්වා ගැනීමට උත්සාහ කළ යුතුය. එකිනෙකට විරුද්ධ කඳවුරු සමඟ සබඳතා පවත්වා ගැනීම අවශ්‍ය වුවද, මූලික මානව හිමිකම් පිළිබඳ කාරණාවලදී පැහැදිලි ස්ථාවරයක් ගැනීම වැදගත් විය යුතු අතර ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ, ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය වන බැවින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හානි වන ආකාරයේ ස්ථාවරයන් ගැනීමෙන් වැළකීම වැදගත්ය. ලංකාව වැනි රටවල් මෙම ගැටුම සම්බන්ධයෙන් ගන්නා ස්ථාවරය සහ ක්‍රියාමාර්ග, අනාගතයේදී ජාත්‍යන්තර සබඳතා හැසිරවීමේදී තීරණාත්මක සාධකයක් විය හැකිය.
අවසාන වශයෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට, සදාචාරාත්මක ස්ථාවරය සහ ප්‍රායෝගික යථාර්ථවාදය අතර සමතුලිතතාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. මේ ගැටුම පිළිබඳ අවසාන විසඳුම, සාකච්ඡා මාර්ගයෙන් හා ජාත්‍යන්තර සහයෝගීතාව තුළින් පමණක් සාක්ෂාත් කරගත හැකිය. ලෝක ප්‍රජාව ලෙස අප සියලු දෙනාම, සාමය ස්ථාපිත කිරීම සඳහා වන උත්සාහයන්ට සහාය දැක්විය යුතු අතර, දෙපාර්ශ්වයේම ජනතාවගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා වැඩ කළ යුතුය.
නිසංසලා කොට්ටගස්වත්ත