Wednesday, March 26, 2025
Home » සුදු කරපටි අපරාධ සහ දිට්ඨධම්මවේදනීය කර්මය නඩු ඇසීම

සුදු කරපටි අපරාධ සහ දිට්ඨධම්මවේදනීය කර්මය නඩු ඇසීම

by Gayan Abeykoon
March 21, 2025 4:00 pm 0 comment

‘සාම්ප්‍ර­දා­යික අප­රා­ධ­ව­ලට වඩා වැඩි හානි­යක් සුදු කර­පටි අප­රාධ මඟින් සිදු වේ’ යැයි ලියූවේ අප­රාධ විද්‍යාව පිළි­බඳ විශේ­ෂ­ඥ­යකු වන ඊ.එච්. සද­ර්ලන්ඩ් ය. ඔහුගේ අර්ථ­ක­ථ­න­යට අනුව සුදු කර­පටි අප­රාධ (white collar crimes) යනු ඉහළ සමාජ ආර්ථික තත්ත්ව­ය­කින් යුතු පුද්ග­ල­යන් ඔවුන්ගේ වෘත්තීය කාර්ය­ය­න්ව­ල දී නීති උල්ලං­ඝ­නය කිරීමේ ක්‍රියා­ව­ලි­යයි.

බලය හිමි ඉහළ සමාජ පන්ති­යට අයත් පිරිස් විසින් නීති විරෝධි ආකා­ර­යෙන් සමා­ජ­යෙන් සැඟවී සිදු කරන අප­රාධ මේ ගණ­යට අයත් වේ.

සුදු කර­පටි අප­රාධ සහ දිට්ඨ­ධ­ම්ම­වේ­ද­නීය කර්මය පිළි­බඳ කතාව යළි කර­ළි­යට පැමි­ණියේ වැඩ තහ­න­මට ලක් වූ පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මාතර අධි­ක­ර­ණ­යට භාර වූ අව­ස්ථාවේ නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් මහතා අධි­ක­ර­ණය හමුවේ කරුණු දැක්වී­මත් සමඟ ය. එහිදී,  දිලීප පීරිස් මහතා සඳ­හන් කොට තිබුණේ චුදිත දේශ­බන්දු තෙන්න­කෝන් සුදු කර­පටි අප­රා­ධ­ක­රු­වකු බවත්,  ඔහුට සිදුව ඇත්තේ දිට්ඨ­ධ­ම්ම­වේ­ද­නීය කර්මය පඩි­සන් දීමක් බවත් ය. ආග­මික අර්ථ­ක­ථ­න­යට අනුව දිට්ඨ­ධ­ම්ම­වේ­ද­නීය කර්මය යනු: තමන් විසින් කරන ලද කුසල අකු­සල කර්ම වර්ත­මා­න­යේ දී ම විපාක දීමේ ක්‍රියා­ව­ලි­යයි.

කෙසේ නමුත්,  දේශ­බන්දු තෙන්න­කෝන් සම්බ­න්ධ­යෙන් ඇත්තේ දිට්ඨ­ධ­ම්ම­වේ­ද­නීය කර්මය පඩි­සන් දීමක් දැයි අපි නොද­නිමු. ඔහු සුදු කර­පටි අප­රා­ධ­ක­රු­වකු යැයි කීම වැරදි යැයි අපට නොසිතේ. එහෙත්,  මේ  මොහොතේ අපි ඔහුගේ පැටි­කි­රිය හාරා අවු­ස්ස­න්නට උත්සාහ නොද­රමු.

එහෙත් නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­ර­යාගේ ප්‍රකා­ශය හමුවේ කියවා ගත යුතු සමාජ දේශ­පා­ල­නික යථා­ර්ථ­යක් පවතී.

එය වර්ත­මා­නයේ තව­මත් හෙළි­ද­රවු නොවී සිටින සුදු කර­පටි අප­රා­ධ­ක­රු­වන්ට ද එක සේ වැද­ගත් වන බව අපි කල්පනා කරමු.

‘ස්වාමීනි,  මොහු සුදු කර­පටි අප­රා­ධ­ක­රු­වෙක්. අඩුම තරමේ ඡන්ද­හිමි නාම ලේඛ­නයේ නමවත් නෑ. මොහුගේ නමට අඩුම ගණ­නින් ෆුට්ස­යි­ක­ල­යක් වත් නෑ. ඒ වුණාට නිල නොවන මට්ට­මින් ගෙවල් අටක් තියෙ­නවා කියලා දැන ගෙන තියෙ­නවා. ඒ ගෙදර ස්කාගා­ර­යක් වගෙයි. විවෘත වරෙන්තු ලැබූ පුද්ග­ල­යකු කිසිම අප­හ­සු­වක් නැතුව ටයි-කෝට් ඇඳ­ගෙන අධි­ක­රණ සංකී­ර්ණය ඇතු­ළත වාඩි වෙලා ඉන්නවා. මෙහෙම වෙන්නේ කොහොම ද?’

යනු­වෙන් වූ දීර්ඝ ප්‍රශ්න කිරී­මක් නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා විසින් කරනු ලැබී ය. මේ ආකා­ර­යට විවෘත වරෙ­න්ත­ක­රු­වකු දින 20ක් පුරා ජන සමා­ජයේ සැඟවී සිටියේ කෙසේ ද? ඔහු වෙනු­වෙන් අධි­ක­ර­ණය හමුවේ මෝසම් ඉදි­රි­පත් කළ නීති­ඥ­ව­රුන් සිදු කර ඇත්තේ සමා­ජ­මය වර­දක් නො වේ ද? අත්අ­ඩං­ගු­වට ගැනී­මට සොයන සැක­ක­රු­වකු පිළි­බඳ තොර­තුරු දැන­ගෙන,  කරුණු වසන් කිරීම වර­දක් නොවන්නේ දැයි දැන­ගනු කැමැ­ත්තෙමු.

එමෙන්ම ඡන්ද­හිමි නාම ලේඛ­නයේ නම නැති අයකු මෙප­මණ කාල­යක් පොලී­සියේ ඉහළ  තන­තුරු දැරුවේ කෙසේ ද? විවෘත වරෙ­න්තු­ක­රු­ව­කුට සමා­ජයේ ඉහළ පුද්ග­ල­යන්ගේ රැක­ව­රණ ලැබුණේ ද? සාමාන්‍ය පුර­වැ­සි­යන්ට ද නීතිය ක්‍රියා­ත්මක වන්නේ මේ ආකා­ර­යට ද? යනාදි වශ­යෙන් වූ පුර­වැසි සමා­ජයේ ගැටලු කිහි­ප­යක් අප හමුවේ ද පවතී.

‘නීතිය ඉදි­රියේ සිය­ල්ලෝම සමාන ය, ‘ යන පොදු මූල­ධ­ර්මය අපි තව­මත් විශ්වාස කරමු. ජන සමා­ජයේ පුර­වැ­සි­යන් වන අපි සියලු දෙනා එකී නීති­මය තත්ත්ව­යට යටත් ය. සාමාන්‍ය පුර­වැ­සි­යන්ට නීතිය ක්‍රියා­ත්මක වන ආකා­ර­යට සුදු කර­පටි අප­රා­ධ­ක­රු­වන්ට ද නීතිය ක්‍රියා­ත්මක විය යුතු ය.

මෙවැනි ආකා­ර­යට සුදු කර­පටි අප­රා­ධ­ක­රු­වන් හෙවත් සමා­ජයේ බලය හිමි ඉහළ ස්තරයේ පිරිස් ප්‍රච­ණ්ඩ­ත්ව­යෙන් තොරව සිදු කරන තවත් හෙළි නොවුණු අප­රාධ පැව­තිය හැකි ය. ඒවා සමා­ජයේ පව­තින සුළු හා මධ්‍ය පරි­මාණ අප­රා­ධ­ව­ලට වඩා ප්‍රබල ය; බල­පෑ­ම්ස­හ­ගත ය. වෙනත් අර්ථ­ය­කින් කිව හොත් සුදු කර­පටි අප­රා­ධ­ක­රුවෝ සූක්ෂ්ම ය. ඔවුන්ට විශාල සම්බ­න්ධතා ජාල­යක් පවතී. එකී සම්බ­න්ධතා ජාලය හඳුනා ගැනී­මට දේශ­බන්දු තෙන්න­කෝන් වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටින නීතිඥ ප්‍රජාව සහ මාධ්‍ය­යට ප්‍රකාශ නිකුත් කරන පිරිස හඳුනා ගැනී­මෙන් පම­ණක් ප්‍රමා­ණ­වත් ය.

ඉහත සඳ­හන් කළ පන්නයේ සුදු කර­පටි අප­රා­ධ­ක­රු­වන් පිළි­බඳ මනෝ­වි­ද්‍යා­ත්මක විග්‍ර­හයේ සඳ­හන් වන්නේ ඔවුන් මුදල් මත ගොඩ­නැ­ඟෙන,  සමාජ තත්ත්වය,  ප්‍රභූ­ත්වය හා මාන­සික අභි­ප්‍රේ­ර­ණ­යන්ට දැඩි කැමැ­ත්තක් දක්වන බවයි. එමෙන්ම  ඔවුන්ට පව­තින සමාජ විරෝධි පෞරුෂ ලක්ෂණ නිසා දැඩි ආත්ම­රාගි ස්වරූ­ප­යක් පෙන්නුම් කරයි. හෘද­ය­සා­ක්ෂි­යෙන් තොර වූ මෙකී සුදු කර­පටි අප­රා­ධ­ක­රුවෝ කිසි විට­කත් තමන් කළ වරද ගැන පශ්චා­ත්තාපී  නො වෙති. මේ නිසා ඔවුන් පුන­රු­ත්ථා­ප­නය කිරී­මක් ද කළ නොහකි ය. ඔවුන්ට සිතෙන්නේ නීතිය විහි­ළු­වක් බවයි.

අප­රාධ විද්‍යා විෂය ක්ෂේත්‍රයේ මූලික සිද්ධා­න්ත­යක් වනුයේ ‘නීති­යක් නැතිව අප­රා­ධ­යක් ද නැත, ‘ යන්නයි. අප­රා­ධ­යක් අප­රා­ධ­යක් ලෙස හඳුනා ගන්නේ ද එයට අදාළ දඬු­ව­මක් නියම වන්නේ ද අප­රාධ විද්‍යාව තුළ ය. එබැ­වින් මෙකී හෙළි­ද­රවු වූ සහ හෙළි­ද­රවු නොවූ සුදු කර­පටි අප­රා­ධ­ක­රු­වන්ට දෙන නීති­මය දඬු­වම කුමක් දැයි අපි නොද­නිමු. කවර තත්ත්ව­යක් යටතේ වුව ද සියලු අප­රා­ධ­ක­රු­වන්ට නීති­මය තත්ත්ව­යක් යටතේ දඬු­වම් කළ යුතු බව පොදු සමා­ජයේ පුර­වැ­සි­යන් සියලු දෙනා එක ලෙස පිළි­ගන්නා කාර­ණ­යකි.

එවැනි සන්ද­ර්භ­යක  ඉහත සිද්ධිය සමා­ජයේ එක් සිදු­වී­මක් පම­ණකි. තවත් එවැනි සිදු­වීම් ගණ­නා­වක් කාලයේ වැලි­ත­ලා­වෙන් යට වී පව­තින බව පැහැ­දිලි සත්‍ය­යකි. කාලා­නු­රූ­පීව ඒ කරුණු එකින් එක නීතිය හමුවේ ප්‍රශ්න කෙරෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. මන්ද යත්: නීතියේ හා යුක්තියේ සාධා­ර­ණ­ත්වය සිය­ල්ලන්ට සමා­නව ඉටු විය යුතු යැයි අපි විශ්වාස කරමු. දේශ­බන්දු තෙන්න­කෝන්ගේ සිද්ධිය නිල­තල හා බලය මත,  දේශ­පා­ල­නික බල පුළු­ව­න්කා­ර­කම මත සමා­ජ­මය අප­රාධ සිදු කරන සිය­ල්ල­න්ටම එක්තරා අන්ද­මක රතු එළි­යක් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

කවර හෝ තැන­කින් මෙකී ප්‍රවේ­ශයේ ආර­ම්භය සල­කුණු කළ යුතුව ඇත. වඩා යහ­පත් සමාජ වෙන­සක් වෙනු­වෙන් බලා­පො­රොත්තු පළ කළ පුර­වැසි ජන සමා­ජයේ අපේ­ක්ෂා­වන්ට සාධා­ර­ණය ඉටු කළ හැකි වන්නේ එවිට ය.

එය ඉතා සෙමෙන් නමුත් ක්‍රම­වත්ව සහ විධි­මත්ව සිදු කළ යුතු කාර්ය­යක් බව අපි ඉතා හොඳින් දනිමු. පුර­වැසි සමා­ජ­යට ද නීතියේ සාධා­ර­ණය ඉටු වන තුරු බලා සිටීමේ සමා­ජ­මය විනය ඇතැයි ද අපි අපේක්ෂා කරමු.

මන්ද යත්: සමාජ වෙන­සක් කරා ගමන් කළ යුත්තේ නිශ්චිත මාර්ග සැල­සු­මක් සහි­තව වන බැවිනි.

අපි එතෙක් ඉව­සී­මෙන් යුතුව බලා සිටිමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT