Tuesday, March 25, 2025
Home » අපනයන වෙළෙඳපොළ ජය ගැනීමට විවිධාංගීකරණය අත්‍යවශ්‍යයි

අපනයන වෙළෙඳපොළ ජය ගැනීමට විවිධාංගීකරණය අත්‍යවශ්‍යයි

සනත් බණ්ඩාර හේරත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපනයන උපදේශක

by Gayan Abeykoon
March 21, 2025 4:08 pm 0 comment

අනාදිමත් කාලයක සිට කෘෂිකාර්මික රටක් ලෙස අපනයන වෙළෙඳපොළෙහි අපගේ භූමිකාව කෙබඳුද?

කෘෂිකර්මාන්තය සහ කෘෂි ව්‍යවසාය යනු ක්ෂේත්‍ර දෙකක්. අපේ රටේ ජනගහනයෙන් 3%ක් පමණයි ව්‍යවසායකයින් ඉන්නේ. මේ සමස්ථ ව්‍යවසායකයින් අතරින් 5%ක පිරිසක් පමණයි ආනයන හෝ අපනයන ව්‍යවසායකයින් ලෙස කටයුතු කරන්නේ. අපේ රටේ වෙළෙඳ හා වාණිජ ඉතිහාසය සමඟ සැසඳුවත්, කෘෂිකාර්මික ඉතිහාසය සමඟ සැසඳුවත්, මේ තත්ත්වය ප්‍රමාණවත් නෑ. ඒ බව මැනවින් වැටහෙන්නේ කලාපයේ අනෙකුත් රටවල් වන ඉන්දියාව, තායිලන්තය, මැලේෂියාව, වියට්නාමය වැනි රටවල් පිළිබඳව සැලකුවත් මේ අපනයන කෘෂිකර්මාන්තයට යොමුවුණු පිරිස ශ්‍රී ලංකාවට වඩා ඉහළ අගයක් ගන්නා බවයි. සංවර්ධනය වෙමින් පවතින රටවල අපනයන ව්‍යවසායකයන් බවට පත්වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්. කෘෂි නිෂ්පාදනයේ සිට අපනයන වෙළෙඳපොළ තෙක් දම්වැලක ආකාරයෙන් එකිනෙකට සම්බන්ධ වී ව්‍යවසායන් ජාලයක් ක්‍රියාත්මක වීම මෙම රටවල්වල ආර්ථිකයේ විශේෂ ලක්ෂණයක්. යුරෝපයේ ව්‍යවසායකයන් අතරින් 60%ක් පමණ ආනයන අපනයන ව්‍යවසායන් සමඟ බද්ද වී කටයුතු කරයි. එහි විශේෂත්වය මහා පරිමාණ ව්‍යවසායන්ට බද්ධ වී සුළු පරිමාණ ව්‍යවසායකයින් විශාල පිරිසක් අපනයන ව්‍යවසායන් සමඟ කටයුතු කරනු දක්නට ලැබීමයි.

ඔබ පවසන්නේ ගෝලීය වෙළෙඳපොළ අවශ්‍යතා අප හඳුනාගෙන නැති බවද?

වෙළෙඳපොළ අවශ්‍යතාව හඳුනාගැනීම මූලික කරුණයි. නමුත් මුලින්ම සිදුවිය යුත්තේ යමක් විදෙස් වෙළෙඳපොළට ඉදිරිපත් කළ යුතුයි යන්න අරමුණක් ඇතිවීමයි. අනාදිමත් කලෙක  සිට අපගේ කෘෂි නිෂ්පාදන විදෙස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කර ඇත්තේ අතිශය සාම්ප්‍රදායික ක්‍රමයටයි. උදාහරණයක් විදිහට තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු, සාදික්කා, එනසාල් ආදී සියල්ල අපි වැඩි වශයෙන් අපනයනය කරන්නේ, ඉන්දියාව, මෙක්සිකෝව  හෝ ඩුබායි වෙතයි. මේ වෙළෙඳපොළවලදී අපේ නිෂ්පාදනවල නියම වටිනාකමෙන් 30%ක පමණ ආදායමක් විතරයි අපි උපයන්නේ. නිෂ්පාදන සියල්ල අමුද්‍රව්‍ය ලෙසයි මේ වෙළෙඳපොළවල අලෙවි වෙන්නෙ. වෙනත් රටවලින් ගෙන්වාගත් නිෂ්පාදන එක්කර ප්‍රතිනිෂ්පාදනය කිරීමයි සිදු වෙන්නේ.

ඔබ පැවසුවා කෘෂි ව්‍යවසායකයෙක් නිරතුරුව තත්ත්වය, Quality ප්‍රමාණය Quantity සහ මිල පිළිබඳව සැලකිළිමත් විය යුතු බව?

ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය දිවයිනක්. ඒ නිසාම අපේ රටේ හැදෙන තේ, පොල්, රබර්, කුරුඳු, කෝපි, එනසාල්, සාදික්කා, ගම්මිරිස්, වැනිලා, පුවක්, බුලත්වල සුවඳ, පැහැය, රස මෙන්ම රසායනික සංයුතිය ඉතාමත් සුවිශේෂියි. උදාහරණයක් විදිහට ලෝකයේ සත්‍ය කුරුඳු වැවෙන්නේ අපේ රටේ. අනෙකුත් රටවල හැදෙන්නේ කුරුඳු නොවෙයි. ඊට ළඟින් යන භෝගයක්. නමුත් අපේ කුරුඳු සමඟ “කැෂියා” මිශ්‍රකර කුරුඳු කුඩු හෝ පානය කළ හැකි සිරප්, තෙල් ආදී වශයෙන් ඒවා ලෝකයේ ඉහළ මිලක් ගෙවන වෙළෙඳපොළවල් වෙත ඉදිරිපත් කරමින් අතරමැදියන් විශාල ලාභයක් උපයනවා.

කුඩා රටක් විදිහට අපිට නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීම අසීරුයි. අපිට තිබෙන ඉඩම් සීමිතයි. නමුත් නිෂ්පාදනයේ ගුණාත්මක බව පාරිභෝගිකයාගේ අවශ්‍යතාව මෙන්ම වෙළෙඳපොළ අවශ්‍යතාවට අනුව වෙනස් කළ හැකියි. එසේම මිල විශේෂ සාධකයක්. කිසිම විටක ඉහළ මිල යනු ඉහළ ගුණාත්මක බව නියෝජනය කරන සාධකයක් නොවන බව වටහාගත යුතුයි.

අපනයන ව්‍යාවසායක දැක්මක් තිබිය යුතු බවද ඔබ පවසන්නේ?

අපනයන වෙළෙඳාමේදී අපි පළමුව සිතිය යුත්තේ අපි නිෂ්පාදනය කරන්නේ  කුමක්ද? එය කුමන රටක කාගේ අවශ්‍යතාවක් සඳහා නිපදවන්නේද යන්නයි. උදාහරණයක් විදිහට අපි ගම්මිරිස් කිලෝ එකක් ඉන්දියාවට යවන විට ලැබෙන්නෙ රුපියල් 1000ක මුදලක්. ඒ කිලෝවම අමෙරිකානු වෙළෙඳපොළට ඉදිරිපත් කර රුපියල් 3000ක් 5000ක් අතර මුදලක් ලබාගත හැකියි. නමුත් ඉන්දියාවට යවන විට තිබිය යුතු තත්ත්වයට වඩා අමෙරිකානු වෙළෙඳපොළට යවන විට වෙනස්. අස්වනු නෙළීම. වේළීම යන්ත්‍ර ආධාරයෙන් කළ යුතුයි. විශේෂයෙන් ආහාර අපනයනය කිරීමේදී සහතික කීපයක් තිබිය යුතු වෙනවා. ඒ සහතික වර්ග මූලික වශයෙන් අංශ තුනකින් යුතුයි.

ආනයන අපනයන ක්‍රියාවලියේදී නීතියෙන් අනිවාර්ය කරන ලද සහතික, ඒ ඒ රටවල් විශේෂයෙන් අපේක්ෂා කරන සහතික. විශේෂිත වෙළෙඳපොළවල් විසින් අපේක්ෂිත සහතික. උදාහරණයක් විදිහට කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳව උනන්දු වන වෙළෙඳපොළවල් දැන් ලෝකය පුරා වර්ධනය වෙමින් තිබෙනවා. ඔවුන් ඉහළ මිලක් ගෙවමින් හෝ කාබනික ආහාර මිලදී ගැනීමේ ප්‍රවණතාවත් තිබෙනවා. මේ වෙළෙඳපොළවල් වෙත තරගකාරීව ප්‍රවේශ වීමට ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අදාළ සහතිකකරණය වැදගත්.

අපනයන කෘෂි ව්‍යවසායකත්වය වර්ධනය කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන කාර්යන් මොනවාද?

අපනයන කෂිකර්මාන්තයෙන් රටේ දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය වැඩි කිරීම මූලික අරමුණයි. ඒ අනුව කෘෂි නිෂ්පාදනයන් අපනයන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ කිරීම දක්වා සමස්ත ක්‍රියාවලියේ සෑම අංශයක්ම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම, දැනුම, සබඳතා ලබාදෙනවා. උදාහරණයක් විදිහට ගම්මිරිස් වගාව සලකමු, පර්යේෂණ මඟින් ඉහළ අස්වැන්නක් සහ ප්‍රමිතියකින් යුතු ගම්මිරිස් ප්‍රභේද හඳුන්වා දීම, පැළ ලබාදීම, බිම් සැකසීම, පොහොර භාවිතය, පළිබෝධ හා දිලීර පාලනය, කාබනික වගාව සඳහා යොමු කිරීම ආදී වශයෙන් සාර්ථක වගාවක් කරගෙන යාම, ඉහළ අස්වැන්නක් ලබා ගැනීම, නාස්තිය අවම කරමින් අස්වනු නෙළීම, සහතිකකරණයන්ට අවැසි ප්‍රමිතීන් සකසා ගැනීම. එතැන් සිට නවීන තාක්ෂණය අනුව වියළීම සහ ගෝලීය වෙළෙඳපොළ අවශ්‍යතාවට අනුව පසු සැකසුම, ගැනුම්කරුවන් සොයා ගැනීම, ඇසුරුම් නිර්මාණය සහ නැව්ගත කිරීම ආදී සෑම අංශයක්  පිළිබඳවම අවධානය යොමු කරනවා.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ සඳහා සමාජ ජාලා ඔස්සේ වට්ස්ඇප් කණ්ඩායම් මුහුණුපොතේ පිටු ආදිය භාවිතයෙන් සන්නිවේදන කටයුතු සිදු කරනවා. මේ කණ්ඩායම්වල අපනයන ක්‍රියාවලිය හා සම්බන්ධ සියලු පාර්ශ්වයන් නියෝජනය වෙනවා. ඒ නිසා නිෂ්පාදන කටයුතු මෙන්ම අපනයන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමට පහසුයි. නමුත් මගේ අත්දැකීම අප වෙත පැමිණ උපදෙස් ලබාගන්නා අය අතරින් 3%ක පමණ පිරිසක් තමයි ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ. නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් විය යුතු මේ වකවානුවේ ගොවියන් ව්‍යාවසායකයින් ලෙස සිතන සමාජ පසුබිමක් ගොඩනැඟීමයි කළ යුත්තේ. අප ආයතනය විසින් දිරිගැන්වීමේ වැඩසටහන් ආධාර ව්‍යාපෘති, ආදී වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙනවා. ගැටඹේ පිහිටි අප දෙපාර්තමේන්තුවට හෝ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකදී සඳුදා දිනයේදී අපගේ නිලධාරියෙක් හමුවීමේ හැකියාව තිබෙනවා. අපනයන තත්ත්වයේ කෘෂි ව්‍යවසායක් ඇතිකිරීම අසීරු කරුණක් නොවේ. ඒ සඳහා කැපවීම සහ උනන්දුව පමණක් නොවේ වෙළෙඳපොළ පර්යේෂණ ඉතා වැදගත්.

 

බුද්ධිකා බ්‍රාහ්මණගේ

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT