ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ප්රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) සිවුදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග අද (20) ආරම්භ වෙයි.
එහිදී පළමු සතියේ ජය වාර්තා කළ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී ජනිත් ලියනගේ මෙහෙයවන මහනුවර පිලට එරෙහිව අද පිටියට පිවිසිසෙන අතර, ධනංජය ද සිල්වා නායකත්වය දරන දඹුල්ල කණ්ඩායම සහ පසිඳු සූරියබණ්ඩාර නායකත්වය දෙන ගාල්ල කණ්ඩායම ගාලු පිටියේදී තරගයට එක් වෙයි. යාපනය කණ්ඩායමට මේ සතිය විවේකය හිමිව තිබේ. නිමාවූ සතියේදී ශතක 6ක් වාර්තා වූ අතර, මහනුවර කණ්ඩායමේ කමිල් මිෂාර ඉහළම ඉනිමට හිමිකම් කීවේ ගාලු පිලට එරෙහිව නොදැවී ලකුණු 158ක් රැස් කරමිනි. අවිශ්ක ප්‍රනාන්දු (කොළඹ), රවිඳු රසාන්ත (යාපනය), නිපුන් ධනංජය, රමේෂ් මෙන්ඩිස් සහ පසිඳු සූරියබණ්ඩාර (ගාල්ල) ද ශතකලාභීහු බවට පත්වූහ. ශතකයක් සහ අර්ධ ශතකයක් රැස් කළ නිපුන් ධනංජය (137 හා 63) සතියේ වැඩිම ලකුණුලාභියා බවට පත්විය.
යාපනය පිලේ ජෙෆ්රි වැන්ඩර්සේ ඉනිමක කඩුලු 6ක් බිඳ දමමින් සතියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර, නිශාන් පීරිස් (කොළඹ) කඩුලු 5ක් දවා ගත්තේය.