අකුරැස්ස නගර මධ්‍යයේ පිහිටි ස්වර්ණාභරණ ආයතනයකට පෙරේදා (18) දිවා කාලයේදී ගොඩවැදී රන් මාල පරීක්ෂා කළ පුද්ගලයකු රුපියල් ලක්ෂ 07ක් පමණ වටිනාකමින් යුත් රන් මාල 3ක් සිය අත්ලේ ගුළි කරගෙන ආයතනයෙන් එළියට පැන දිව ගොස් ඇත. ආයතනයේ හිමිකරුද කොල්ලකරුවා පසුපස ලුහුබැඳ යන අතරතුරදී කොල්ලකරුවා යෝජිත අකුරැස්ස බස්නැවතුම්පොළ භූමිය ඉදිරිපිට වෙල්යායට පැන මඩ වගුරේ දිව යන විට හිමිකරුද වෙල්යායට පැන එම පුද්ගලයාව අල්ලාගෙන ගොඩට ගෙන එන්නට සමත්ව තිබිණි. අසල්වැසියන්ගේ සහය ද ඔහු වෙත ලැබී ඇත.
මෙම අවස්ථාවේ අතුරු මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි අකුරැස්ස රථවාහන අංශයේ සේවයේ නියුතු පොලිස් සැරයන් නන්දකුමාර (52606) එම ස්ථානයේ පවතින කලබලකාරී තත්ත්වය මත පැමිණ රන්මාල කොල්ලකරුවාව අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අකුරැස්ස පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක බී.එල්.එම්. ඩයස් මහතා වෙත භාරදී ඇත. මෙම කොල්ලකරුවා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සේවයේ යෙදී සිටින 28 හැවිරිදි පුද්ගලයෙකි. අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක බී.එල්.එම්. ඩයස්, පොලිස් සැරයන්වරුන් වන (67794) මෙන්ඩිස්, (39734) නයනජිත්, (89429) කුමාර, (52601) උපුල්, රථවාහන අංශයේ (52606) නන්දකුමාර යන නිලධාරීහූ සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වති.