කළු ගඟේ පාවී ආ මුවකු ඊයේ (19) තෙබුවන වයි හන්දියේ කඩවීදිය ප්රදේශයේදී තරුණයන් පිරිසක් විසින් ගොඩගනු ලැබ ඇතැයි තෙබුවන පොලීසිය පැවසීය. නාර්තුපාන දෙස සිට කළුතර දෙසට කළු ගඟේ ජල පහරට හසුව මුවකු ගසාගෙන යන අයුරු තෙබුවන, පහළගම කඩවීදිය ප්රදේශයේ රැඳී සිටි තරුණයන් දැක වහා ක්රියාත්මක වී මුවා බේරා ගැනීමේ අදහසින් ඔරුවක් ආධාරයෙන් කළු ගඟේ මුවා සිටි ආසන්නයට යද්දී මුවා මියගොස් ඇත. පසුව එම පිරිස මියගිය මුවා ගොඩට රැගෙනවිත් ඒ බව තෙබුවන පොලිස් ස්ථානයට දැන්වීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත. අඟුරුවාතොට, තෙබුවන ඇතුළු කළුතර දිස්ත්රික්කයේ අවට ප්‍රදේශ තුළ මුවන් ජීවත් නොවන අතර, මුවා මේ ප්රදේශයට කෙසේ පැමිණියාදැයි සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මියගිය මුවා පිළිබඳව හික්කඩුව වනජීවි ඒකකය දැනුම්වත් කිරීමෙන් අනතුරුව එහි නියාමක චින්තක දිමුතු කුමාර මහතාගේ උපදෙස් පරිදි මුවා වළදැමීමට කටයුතු කර තිබේ.