මිහින්තලේ ගොවිජන බැංකුව මඟින් ගොවි සමාගමක් හරහා ගොවීන්ට දුන් ණය මුදල තමාගේ පෞද්ගලික මුදලින් ගෙවා තිබියදීත් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණරත්න මහතා සිදු කරන මඩ ප්‍රචාරය තමා තරයේ හෙළාදකින බවත් දැඩිව කනස්සල්ලට පත් වන බවත් අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර ජයබිම සර්වජන බලය පක්‍ෂ කාර්යාලයේ ඊයේ (19) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙහිදී මාධ්‍ය හමුවට එක්වෙමින් චන්ද්‍රසේන මහතා මෙසේ ද පැවසීය.
“දි.මු. ජයරත්න මහතා කෘෂිකර්ම ඇමැතිවරයා වශයෙන් සිටියදී කෘෂි භෝග ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගොවි සමාගම් තුනක් ආරම්භ කළා. උඩරට අල ගොවි සමාගම, දඹුල්ල ලොකු ලූනු ගොවි සමාගම සහ උතුරු මැද මිරිස් ගොවි සමාගම මේ යටතේ ආරම්භ කළා. එවකට 2000 වර්ෂයේ මම සිටියේ උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙසයි. මේ ගොවි සමාගම පාලනය කළේ සභාපතිවරයකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් මඟින්. මම එහි සභාපතිවරයා වශයෙන් පත් වුණා. ඒ අනුව නිසි නියාමනයකට අනුව ගොවීන් තෝරාගෙන අප සමාගම හරහා මිහින්තලේ ගොවිජන බැංකුවෙන් රුපියල් ලක්ෂ දොළහමාරක (1,250,000) ණය මුදලක් ගොවීන් අර ගත්තා. ඒ මිරිස් බීජ ලබා ගැනීම සඳහායි. එහෙත් එම වර්ෂයේ අග මිරිස් වගාවට මයිටා රෝගය වැලඳී ගොවීන්ගේ මිරිස් වගාව සහමුලින්ම විනාශ වුණා. ඒ හේතුවෙන් ගොවීන් ගොවිජන බැංකුවට ණය මුදල් ගෙවීමක් කළේ නෑ. අනතුරුව ඊළඟ වසරේ (2001) මම පාර්ලිමේන්තුවට ගියා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සමාගමක සභාපති ධුරයක් දැරීමට නීතියෙන් නොහැකි නිසා එම සමාගම කිසිවකු භාර නොගෙන එය අභාවයට ගියා. එහි සිටි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් (ගොවියෝ) සමහර දෙනෙක් අද ජීවතුන් අතරවත් නෑ.
එහෙත් පසුගිය යහපාලන ආණ්ඩුවේදී ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් සහ අමාත්‍යාංශ ලේකම්වරයා මට දැන්වීමක් කළා ගොවිජන බැංකුවෙන් ගොවීන් ගත් ණය මුදල එම සමාගමේ සභාපතිවරයා වශයෙන් සිටි බැවින් මට ගෙවන්න කියලා. ඒ සඳහා ගොවීන් විසින් ගත් ණය මුදල පමණක් ගෙවීමට මට අමාත්‍යාංශය අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව කොටස් දෙකකට අවස්ථා දෙකකදී බැංකුවෙන් ගත් සම්පූර්ණ ණය මුදල වූ රුපියල් ලක්ෂ දොළහමාරක මුදල මම මගේ අතේ මුදලින් පෞද්ගලිකව ගෙවා දැම්මා. එයට අදාළ සියලු ලිපි ලේඛන මා ළඟ තියෙනවා. එතැනින් ඒ කටයුත්ත අවසන් වුණා.