පසුගිය මහ කන්නයේ ඇති වූ ගංවතුර තත්ත්වය නිසා වගා හානි වූ ගොවීන්ට වන්දි දීම සම්බන්ධයෙන් ගැටලු වේ නම් 1918 හදිසි දුරකතන ඇමැතුම් අංකයට වහාම දැනුම් දෙන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.
මේ පිළිබඳව එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා ‘දිනමිණ’ට මෙලෙස අදහස් දැක්වීය.
“වගා හානි මුදල් ගොවි ගිණුම්වලට බැර කර ඇතත් යම් යම් ගැටලු පිළිබඳව දිනකට විමසීම් 10ක් පමණ මේ හදිසි දුරකතන ඇමැතුම් අංකයට ලැබෙනවා. මඩකළපුව, පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් එවැනි පැමිණිලි වැඩි වශයෙන් ලැබී තිබුණා.
පසුගිය සතිය නිම වනවිට ගොවීන් 53,511 දෙනකුගේ වගා අක්කර 61,071කට රුපියල් මිලියන 952ක් ගොවි ගිණුම්වලට බැර කළා. ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් නිර්දේශ වූ වගා හානි සඳහා පමණක් අදාළ වන්දි මුදල් ගෙව්වා. ගොවීන්ගේ හඳුනාගැනීම් ගැටලු, ජාතික හැඳුනුම්පත් අංකවල පරස්පරතා, බැංකු ගිණුම්වල විස්තර නිවැරදි නොවීම්, තක්සේරු කමිටු නිර්දේශ සම්පූර්ණ නොවීම, හානි වාර්තා කිරීම නිසි ලෙස සිදු නොකිරීම ඇතුළු අඩුපාඩුකම් සහිත ලේඛන සඳහා වන්දි ගෙවීම අත්හිටුවීමට සිදු වුණා.”