සිය ආරක්ෂිත සංචිතය 60 දෙනකු දක්වා අඩු කිරීමට ගත් තීරණයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19) තීරණය කළේය.
එම පෙත්සම විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බවට තීරණය කිරීමෙන් පසුව මෙම පෙත්සම ඉවත දමන ලදි. පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් මඟින් මේ බව තීරණය කෙරිණි.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ පෙත්සම්කරුට සපයා තිබූ ආරක්ෂක සංචිතය පොලිස් නිලධාරීන් 60 දෙනකු දක්වා අඩු කිරීමට රජය මඟින් කටයුතු කර ඇති බවය.
සේවාමුර ක්‍රමය අනුව ඔවුන් සේවයට යොදන බැවින් එක් අවස්ථාවකදී නිලධාරීන් 6ක් – 8ක් පමණ සේවයේ යෙදෙන අතර පෙත්සම්කරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් ඇති වී ඇති බවට ඔහු කරුණු ඉදිරිපත් කළේය.
පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීමට නායකත්වය දුන් බවත් ඒ හේතුවෙන් ඔහු එම සංවිධානයේ ප්‍රබල ඉලක්කයක් වන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කළ නමුත් කැනඩාව, අමෙරිකාව, යුරෝපා රටවල් ඇතුළු විදේශීය රටවල එල්.ටී.ටී.ඊ. හිතවාදීන් සක්‍රියව ක්‍රියාත්මක වන අතර පෙත්සම්කරු සහ පෙත්සම්කරුගේ සහෝදරයාව යුද අපරාධකරුවන් බවට ප්‍රකාශ කරමින් කැනඩාවට ඇතුළුවීම මෑතකදී එරට රජය මඟින් ඔවුන්ට තහනම් කළ බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. පෙත්සම්කරු අගමැතිවරයාව සිටියදී මැලේසියාවේ සිදු කළ සංචාරයකදී එහි සිටි කොටි හිතවාදීන් විසින් ඔහුට එරෙහිව විශාල උද්ඝෝෂණයක් සිදු කළ බව ද ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.
පෙත්සම්කරුට ඇති තර්ජන පිළිබඳ තක්සේරු කිරීමකින් පසු පොලිස් නිලධාරීන් 203 දෙනකු සහ විශේෂ බළකායේ නිලධාරීන්ගේ ආරක්ෂාව සපයා තිබූ අතර එම ආරක්ෂක සංචිතය පොලිස් නිලධාරීන් 60 දෙනකු දක්වා අඩු කිරීමට පසුගියදා කටයුතු කර ඇති බවට ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ප්‍රභූ ආරක්ෂක ඇගැයීම් කමිටුවේ නිර්දේශය මත එම ආරක්ෂක සංචිතය අඩු කළ බව පැවසෙන නමුත් එම නිර්දේශයන් සිදු කිරීමට පෙර එම කමිටුව මඟින් පෙත්සම්කරුගේ අදහස් විමසීමක් සිදු නොකළ බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාදය පිළිබඳ කටයුතු විමර්ශනය කළ චිත්රසිරි කමිටුව එම කමිටුවේ වාර්තාව සැකසීමට පෙර පෙත්සම්කරුගෙන් අදහස් විමසා සිටි බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
එසේම පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක සංචිතය හැට දෙනකු දක්වා අඩු කළ බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් සිදු කළ අතර එම ආරක්ෂක සංචිතය තවත් අඩු කරන බවට එහිදී ප්‍රකාශ කර ඇති බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
එලෙස ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් තීරණය කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති අතර එය විශේෂඥයන් විසින් ඇගැයීමක් සිදු කිරීමෙන් අනතුරුව කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
ගණේමුල්ලේ සංජීව වැනි පාතාල නායකයන්ට පවා විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව දුන් අතර රජයට එරෙහිව කැරලි ගැසූ රෝහණ විජේවීර මහතාගේ පවුලේ අයට පවා වසර තිස්අටක් රජය මඟින් ආරක්ෂාව දුන් බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා පෙත්සම්කරු ඇතුළු ආරක්ෂක තර්ජන ඇති සියලු දෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම රජය මඟින් දැරිය යුතු බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
මේ වන විට මෙරට ගිනි අවි සහ වෙඩික්කරුවන් ඉතාමත්ම ලාභ වන අතර යමක් සිදුවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් පලක් නොවන බවට කරුණු ඉදිරිපත් කළේය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ මෙරට ආර්ථික අර්බුදය ඇති වීම සිදු වූයේ බලධාරීන් කරුණු නිසි පරිදි ඇගැයීමක් සිදු නොකිරීම නිසා බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව තර්ජනවලට ලක්ව සිටින පෙත්සම්කරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් ඒ පිළිබඳ වගකීම පෙත්සම්කරුට සපයා ඇති ආරක්ෂාව ප්‍රමාණවත් බවට පවසන අය ගත යුතු බව ඒ මහතා සඳහන් කළේය. පෙත්සම්කරුගෙන් කිසිදු කරුණු විමසීමකින් තොරව ඔහුගේ ආරක්ෂාව අඩු කිරීමට ගෙන ඇති තීරණය අසාධාරණ අයුක්තිසහගත සහ නීති විරෝධී බවට ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
එබැවින් මෙම පෙත්සම විභාගයට අවසර දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහිදී නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා සඳහන් කළේ “ප්‍රභූ ආරක්ෂාව ඇගැයීම් කමිටුව” 2015 වසරේ සිට ක්‍රියාත්මක වන කමිටුවක් බවය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා එම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා, ඇමැති ආරක්ෂක අංශයේ ප්‍රධානියා ඇතුළු ආරක්ෂක බලධාරීන්ගෙන් එම විශේෂඥ කමිටුව සමන්විත වන බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරුන්ට පමණක් නොව හිටපු ජනාධිපතිවරුන්ගේ බිරින්දෑවරුන්ට මහානායක හිමිවරුන්ට දියවඩන නිලමේවරයාට අධිකරණ විනිසුරුවරුන්ට ඇතුළු ප්‍රභූ ආරක්ෂාව දීම සම්බන්ධයෙන් මෙම කමිටුව මඟින් කරුණු සලකා බලන බව ද සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙත්සම්කරුගේ ආරක්ෂාව අඩු කිරීම සඳහා පමණක් මෙම කමිටුව රැස් වූ බවට කරන චෝදනාව පිළිගත නොහැකි බවට කරුණු ඉදිරිපත් කළේය.
එම කමිටුවේ තීරණ අනුව පෙත්සම්කරුගේ ආරක්ෂාව අඩු කිරීමට පියවර ගත් බවට පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එකී තීරණය මඟින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවට පෙන්වා දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.