අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ලබා නොදීම නිසා තම මවට බරපතළ ලෙස පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන පළමුවැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (19) නියෝග කළාය.
දෙමටගොඩ ආරාම පෙදෙසේ පදිංචි එම්. මන්සුර් රිස්වාන් නමැති සැකකරුවකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
පසුගිය 12 වෙනි දින මෙම සැකකරු මත්ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා ඔහුගේ අවුරුදු 65 වයසැති මවගෙන් මුදල් ඉල්ලා සිටි අවස්ථාවේ ඇය එම මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කොට ඇති බවත් දෙමටගොඩ පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කළේය.
එම අවස්ථාවේ මොවුන් දෙදෙනා අතර බහින්බස්වීමක් සිදු වී ඇති බව ද පොලිසිය අධිකරණයේ කරුණු වාර්තා කළේය. බහින්බස් වීම අතරතුර මරණකාරිය හට බංකුවකින් හා කොසු මිටකින් සැකකාර පුත්‍රයා පහරදී ඇති බවත් පසුව අතින් පයින් දැඩි ලෙස පහර දී ඇති බවටත් දෙමටගොඩ පොලීසිය අධිකරණයේ කරුණු ඉදිරිපත් කළේය.
මෙම පහර දීම හේතුවෙන් දැඩි ලෙස අසාධ්‍ය වූ එම මව ඉකුත් 16 වැනි දින රෝහල්ගත වීමෙන් පසු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (18) මියගොස් ඇත.
එම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී මෙම සැකකරුගේ පහර දීමෙන් අදාළ තැනැත්තිය මියගොස් ඇති බවට කරුණු අනාවරණය වූ බව දෙමටගොඩ පොලීසිය අධිකරණය හමුවේ පවසා සිටියේය.