දීර්ඝ කාලයක සිට ආසියානු කලාපයේ ආර්ථික බලවතා බවට පත්වීමේ තරගයක නිරතව සිටින ඉන්දියාව සහ චීනය අතර සියලු ආකාරයේ සබඳතා ශක්තිමත් වීමේ පසුබිම නිර්මාණය කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි චීනය සම්බන්ධව සුබවාදී ආකල්පයකින් අදහස් දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සම්බන්ධ පර්යේෂකයකු වන ලෙක්ස් ෆ්‍රිඩ්මන් සමඟ පසුගියදා සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය අගමැතිවරයා පැරැණි සංස්කෘතික සහ ශිෂ්ටාචාර සබඳතා දෙරට අතර සමීප සම්බන්ධතාවක් පවතින බවත්, වර්තමානය වන විට උද්ගත වී ඇති අර්බුදවලට සැබෑ ඉතිහාසයක් නොමැති බවත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. වසර 2020ට පෙර ඉන්දියාව සහ චීනය අතර පැවැති සමීපභාවය යථා තත්ත්වයට පත් කිරීමට දෙරටම කටයුතු කරමින් සිටින බව ද ඉන්දීය අගමැතිවරයා සඳහන් කර ඇතැයි වාර්තා වේ.
සියවස් ගණනාවක පුරා ඉන්දියාව සහ චීනය එකිනෙකාගෙන් ගුරුහරුකම් ලබා ඇති බවත්, ගෝලීය යහපත වෙනුවෙන් දෙරටම යම් ආකාරයකින් දායකත්වය ලබා දී ඇති බවත් ඉන්දීය අගමැතිවරයා සිහිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එක් අවස්ථාවකදී ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාව සහ චීනය සතුව තිබූ බව ද අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.