Home » එජා­පය අගා­ධ­යට යැවීමේ වග­කීම රනිල් භාරගත යුතුයි

එජා­පය අගා­ධ­යට යැවීමේ වග­කීම රනිල් භාරගත යුතුයි

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේ­මාන්න

by Gayan Abeykoon
March 20, 2025 4:15 pm 0 comment

ක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියා­කා­රීන් සහ මන්ත්‍රී­වරු පක්ෂය හැර යද්දී අඛ­ණ්ඩව එක්සත් ජාතික පක්ෂය සමඟ කට­යුතු කළ කළු­තර දිස්ත්‍රි­ක්කයේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නාය­ක­යකු සහ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු වන ලක්ෂ්මන් විජේ­මාන්න මහතා සමඟ එක්සත් ජාතික පක්ෂයේ වර්ත­මාන වාතා­ව­ර­ණය සහ කාලීන දේශ­පා­ල­නය පිළි­බ­ඳව සිදු කළ සාක­ච්ඡා­වකි මේ.

 

වාසි අවාසි නොබලා අපි එක්සත් ජාතික පක්ෂය රැකගත්තා

විප­ක්ෂයේ ප්‍රධා­නම කණ්ඩා­යම සමගි ජන බල­වේ­ග­යයි

මට දේශ­පා­ල­න­යෙන් හම්බ කිරීමේ චේත­නා­වක් නැහැ

 

 පසු­ගිය සති­යේදී එක්සත් ජාතික පක්ෂ නාය­කයා සහ ඔබ අතර ඇති වුණු උණු­සුම් කතා­බහ පිළි­බඳ කතා කළ හැකිද ?

ඇත්තෙන්ම එදා සිදු වූයේ ඉතා­මත් කන­ගා­ටු­දා­යක දෙයක්. මම එක්සත් ජාතික පක්ෂය අවු­රුදු ගණ­නා­වක් නියෝ­ජ­නය කළ පක්ෂය කිසි­ම­දාක අත­හැර නොගිය කෙනෙක්. පක්ෂ­යට බැරි වූ වෙලා­වේදී වාසි­යට, වාසි පැත්තට මන්ත්‍රී­වරු ගියා. ඒත්, මම ප්‍රති­ප­ත්ති­ග­රුක එක්සත් ජාතික පාක්ෂි­ක­යකු විදි­හට පක්ෂය අත්හැ­රියේ නැහැ. පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී කළු­තර දිස්ත්‍රි­ක්කය තුළ මා සහ මගේ කණ්ඩා­යම ඉතා­මත් කැප­වී­මෙන් කට­යුතු කළා. ඒ නිසා  රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට දිස්ත්‍රි­ක්ක­යෙන් සැල­කිය යුතු ඡන්ද ප්‍රමා­ණ­යක් ලබා ගැනී­මට පුළු­ව­න්කම ලැබුණා. ඒ අපි කණ්ඩා­ය­මක් විදි­හට සිදු කළ කාර්ය­භා­රය නිසයි.

එහෙත්, පක්ෂ නාය­ක­යාට පක්ෂය හෝ පාක්ෂි­කයා කිසි­සේත්ම වැද­ගත් නැහැ. ඔහු ඉතා­මත් හිතු­ව­ක්කාර විදි­හට කළු­තර දිස්ත්‍රි­ක්කයේ එක්සත් ජාතික පක්ෂ නාය­කයා විදි­හට රාජිත සේනා­රත්න මහ­තාව පත්කර ගනු ලබ­නවා. ඇත්තෙන්ම රාජිත කියන්නේ ස්ථිර දේශ­පා­ලන ප්‍රති­ප­ත්ති­යක වැඩ කරන කෙනෙක් නොවෙයි. ඔහු ඉතා­මත් අව­ස්ථා­වාදී දේශ­පා­ල­න­ඥ­යකු විදි­හ­ටයි හඳු­න්වන්න පුළු­වන්. එවැනි අව­ස්ථා­වා­දි­යකු අපේ පක්ෂයේ නාය­ක­ත්ව­යට පත් කළේ ඇයි කියලා මම රනිල් වික්‍ර­ම­සිංහ මහ­තා­ගෙන් විම­සුවා. ඒ විම­සීම කරද්දී ඔහු මාව අතින් අල්ලා බල­හ­ත්කා­ර­යෙන් පසෙ­කට කළා. ඇත්තෙන්ම රනිල් වික්‍ර­ම­සිංහ මහතා තුළ තිබෙ­නවා යැයි කියන ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය මෙයද කියන එක ප්‍රශ්න­යක්. පක්ෂය වෙනු­වෙන් වැඩ කළ අප වැනි අයට මෙහෙම කිරී­මත් අතින් අල්ලා විසි කර­නවා නම් එවැනි අයත් සමඟ තව­දු­ර­ටත් ඉන්න එක අප­රා­ධ­යක්. ඒ නිසා තමයි මම තීර­ණය කළේ එක්සත් ජාතික පක්ෂය සමඟ තව විනා­ඩි­ය­ක්වත් නොඉඳ ඉව­ත් වන්න.

 රනිල් වික්‍ර­ම­සිංහ මහතා පිළි­බඳ කතා කරන බොහෝ අය කියන්නේ ඔහු හොඳ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දි­යෙක්, රාජ්‍ය තාන්ත්‍රි­ක­යෙක් කියලා එහෙම තිබි­යදී ඔහු එදා යම් කල­හ­කාරී බව­කින් හැසි­රුණේ ඇයි?

පුද්ග­ල­යකු වය­ස්ගත වීමත් සමඟ ඔහොම දේවල් වෙනවා. මාන­සි­කව ඇතිවූ ව්‍යාකූ­ලතා ඇති වෙනවා. අද රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට වෙලා තිබෙන්නේ එවැනි දෙයක්. ඇත්තෙන්ම ඔහු දැන් දේශ­පා­ල­නය ­කි­රීම වෙනු­වට කළ යුතුව තිබෙන්නේ විවේක ගැනී­මයි. විවේක නොගෙන තව­දු­ර­ටත් ඔහු මේ විදි­හට හැසි­රීම තුළ සිදු­වන එකම දේ බවට පත්වන්නේ ඔහුත් ඔහු නියෝ­ජ­නය කරනු ලබන එක්සත් ජාතික පක්ෂ­යත් තව­දු­ර­ටත් පිරී­හීම පම­ණයි.

රනිල් වික්‍ර­ම­සිංහ මහතා අද පක්ෂයේ පැරැණි අයට පල නොකියා පලා බෙදී­මක් සිදු කරන්නේ. එවැනි තැනක අප වැනි දේශ­පා­ල­න­යෙන් සත­ය­ක්වත් හම්බ නොකළ අය අය තව­දු­ර­ටත් සිටිය යුතු නෑ. ඒ නිසා තමයි මා එක්සත් ජාතික පක්ෂ­යෙන් ඉවත් වීමට තීර­ණය කළේ. රාජිත සේනා­රත්න වැනි අව­ස්ථා­වාදී පිරිස් දේශ­පා­ලන ප්‍රති­ප­ත්ති­ය­කින් තොරව වැඩ කළාට අප සැම­දාම වාසි අවාසි නොබලා එක්සත් ජාතික පක්ෂය රැක­ගත් පිරි­සක්.

 ඔබට පම­ණක් නොවෙයි, තවත් තරුණ නියෝ­ජි­ත­යන් කිහිප දෙන­කු­ටත් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රශ්න නොකර වාඩි වෙන්න කියලා තර්ජ­නය කළා?

ඔව්. අපේ පක්ෂය කව­දත් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ඉහ­ළින්ම පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ­යක්. සේනා­නා­ය­ක­ව­රුන්ගේ සිට මෑතක් වන තුරු පක්ෂය තුළ අභ්‍ය­න්තර ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ඉහ­ළින් තිබුණා. අද  වන විට පක්ෂ නාය­කයා ප්‍රසි­ද්ධියේ ප්‍රද­ර්ශ­නය කළා ඔහු ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය විශ්වාස කරන්නේ නැහැ, ඒකා­ධි­ප­ති­වා­දය විශ්වාස කරන්නේ කියලා. එදා වික්‍ර­ම­සිංහ මහතා බැණ වැදුණේ පක්ෂය බිංදු­ව­ටම වැටුණ වෙලාවේ පක්ෂය රැක ගෙන කළු­තර දිස්ත්‍රි­ක්කය තුළ ඉහළ සංවි­ධා­නා­ත්මක දක්ෂ­තා­වක් පෙන්වූ තරු­ණ­යන් දෙදෙ­න­කු­ටයි. ඇත්තෙන්ම මෙය නැඟී එන තරුණ නාය­ක­යන්ගේ මාන­සි­ක­ත්වය කඩා බිඳවට්ටන දෙයක් විදි­හ­ටයි මට පෙනෙන්නේ.

 එක්සත් ජාතික පක්ෂ­යෙන් ඉවත්වූ ඔබගේ මීළඟ පිය­වර කුමක්ද?

මම රැක ගත් නාය­කයා මා සහාය දැක් වූ නාය­කයා මාව අතින් තල්ලු කර දමද්දී මම විරු­ද්ධව වැඩ කළ පක්ෂයේ නාය­කයා වන සජිත් ප්‍රේම­දාස මහතා මාව සාද­ර­යෙන් පිළි­ගත්තා. ඇත්තෙන්ම මම මින් ඉදි­රි­යට සහාය පළ කරන්නේ සමගි ජන බල­වේ­ග­ය­ටයි. මම හිත­නවා මම කාල­යක් ගත වෙලා හරි නිසි දේශ­පා­ලන නවා­තැනේ සිටගත්තා කියලා.

 ඔබ එසේ කියන්නේ  ඇයි?

2020දී අප නියෝ­ජ­නය කළ එක්සත් ජාතික පක්ෂ­යෙන් විශාල පිරි­සක් කැඩී ගිහින් සමගි ජන බල­වේ­ගය ආරම්භ කළා. එතැ­නදී අපේ පාක්ෂි­කයෝ හිත­ව­තුන් රැසක් පක්ෂය අත්හැර ගියා. මා ගත් දේශ­පා­ලන තීන්දුව සමඟ ඒ හැර ගිය අය ගොඩක් මට කතා කර­නවා. පසු­ගිය දින කිහි­ප­යට මට දුර­ක­තන ඇම­තුම් පම­ණක් හාර­ද­හ­ස­කට වැඩි ප්‍රමා­ණ­යක් ලැබුණා. එයින් තහ­වුරු වෙන දේ තමයි මා ගත් තීර­ණ­යත් එක්ක ජන­තාව ඉන්නවා. ඔවුන් මගේ තීර­ණය පිළි­ග­න්නවා කියන කරු­ණයි.

අවු­රුදු හය හතක් මට දේශ­පා­ලන හෙණ­හුරා ලබා තිබුණේ. ඒ දේශ­පා­ලන හෙණ­හු­රා­ගෙන් මට ගැල­වී­මක් ලැබුණේ සමගි ජන බල­වේ­ගය සමඟ එකතු වීමත් සම­ඟයි.

 ඔබ සමගි ජන බල­වේ­ගය තුළ දේශ­පා­ල­නය කිරී­මේදී තන­තුරු භාර ගැනී­මට හෝ යම් කිසි වග­කී­මක් භාර ගැනී­මට සූදා­නම්ද?

නැහැ, මම සමගි ජන බල­වේ­ගය සමඟ එකතු වුණේ තන­තුරු වෙනු­වෙන් නොවෙයි. පසු­ගිය අවු­රුදු කිහි­පය තුළ සමගි ජන බල­වේ­ගය වෙනු­වෙන් වැඩ කළ දේශ­පා­ලන කැප­වීම් කළ පිරිස් සිටි­යදී මම මැදින් පැනලා තන­තු­රක් ලබා ගත්තොත් ඒක පැරණි අයට  කළ අසා­ධා­ර­ණ­යක් වෙනවා. ඒ නිසා මම හිතන දේ තමයි මට රාජිත සේනා­රත්න කළ දේ මම තවත් කෙනෙ­කුට නොකළ යුතුයි කියන අද­හස. ඒ අද­හ­සත් එක්කයි මම කට­යුතු කරන්නේ.

මට දේශ­පා­ල­නය තුළ හම්බ කිරීමේ චේත­නා­වක් නැහැ.  ඒ නිසා මගේ ප්‍රධාන අර­මුණ වෙලා තිබෙන්නේ සමගි ජන බල­වේ­ගය විශ්වාස කරනු ලබන පිරිස වෙත මගෙන් සිදු කරන්න පුළු­වන් වග­කීම කුමක්ද කියා සලකා බලා කට­යුතු කිරී­මයි.

 එදා සමගි ජන බල­වේ­ගය පිළි­බ­ඳව විශාල දේශ­පා­ලන විවේ­ච­න­යක සිටි ඔබ අද ඒ පක්ෂය පිළි­බඳ ප්‍රසා­ද­යෙන් කතා කර­නවා. ඒ විදි­හට අද­හස් වෙනස් කිරීම සුදු­සුද?

ඔව්. මම කිසිම දව­සක කිසිදු විරු­ද්ධ­වාදී දේශ­පා­ලන ව්‍යාපා­ර­යක් පෞද්ග­ලි­කව විවේ­ච­නය කළේ නැහැ. මට කිසිදු දේශ­පා­ල­නය පක්ෂ­යක් සමඟ පෞද්ග­ලික ප්‍රශ්න නැහැ. දේශ­පා­ලන පක්ෂ සමඟ දේශ­පා­ලන ප්‍රශ්න තිබු­ණට කමක් නැහැ කියන අද­හ­සයි මම දරන්නේ.

සමගි ජන බල­වේ­ගය සහ මා නියෝ­ජ­නය කළ එක්සත් ජාතික පක්ෂය අතර ලොකු ප්‍රති­ප­ත්ති­මය පර­ස්ප­ර­යක් නැහැ. ඔවුන් පක්ෂය අතැර ගියේ එජාප නාය­ක­යාගේ ඒකා­ධි­පති ස්වභා­වය නිසා බව අද වෙද්දී මට පැහැ­දිලි වෙලා තියෙන්නේ. ඇත්තෙන්ම මගේ දේශ­පා­ලන ප්‍රති­ප­ත්තිය සහ සජබ දේශ­පා­ලන ප්‍රති­පත්ති අතර ලොකු වෙන­සක් නැහැ. ඇත්තෙන්ම අපේ දේශ­පා­ලන අද­හස් ගොඩක් දුරට සමා­නයි. ඒ නිසා මට අනා­ගත දේශ­පා­ලන කට­යුතු වගේම ජනතා සේවය සමගි ජන බල­වේ­ගය තුළින් ඉටු කරන්න හැකි­යාව තිබෙ­නවා.

  දැන් පළාත් පාලන මැති­ව­ර­ණය සඳහා නාම­යෝ­ජනා කැඳවා තිබෙ­නවා. මේ පළාත් පාලන මැති­ව­ර­ණ­යට කල­කට පසු එජා­පය අලියා ලකු­ණෙන් තරග කරනු ලබ­නවා. ඇත්තෙන්ම එජා­ප­යට පළාත් පාලන ඡන්ද­යේදී කුමක් වෙයිද?

එක්සත් ජාතික පක්ෂ­යට කිසිදු ප්‍රාදේ­ශීය සභා­වක් හෝ මහ නගර සභා­වක් දිනන්න බැහැ. එදා රටේ හයෙන් පහක දැවැන්ත ජනතා සහා­යක් ලැබූ එජා­පය වගේ පක්ෂ­යක් අද වෙද්දි ලක්ෂ දෙක තුනක ඡන්ද ප්‍රමා­ණ­යක් ගන්නා පක්ෂ­යක් වෙලා ඉව­රයි. ඇත්තෙන්ම මෙවර පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී එජා­පය පසු­ගිය මහ­මැ­ති­ව­ර­ණ­ය­ටත් වඩා විශාල කඩාවැටී­ම­කට ලක්වෙ­නවා. ඒක වළ­ක්වන්න පුළු­වන් දෙයක් නොවෙයි. නාය­ක­යාගේ විකල් හැසි­රීම නිසා එජා­පය දරුණු අගා­ධ­ය­කට ගොස් අව­සා­නයි. පක්ෂය අගා­ධ­යට යැවීමේ වග­කීම ඔහු විසින් භාරගත යුතුයි.

 ඉදිරි පළාත් පාලන මැති­ව­ර­ණ­යෙන් සමගි ජන බල­වේ­ග­යට සැල­කිය යුතු ජය­ග්‍ර­හ­ණ­යක් ලබා ගැනී­මට හැකි­යාව තිබේද?

සමගි ජන බල­වේ­ගය පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සිය­යට තිස් දෙකක් ගත්තා ආසන ගණ­නා­වක් ජය­ග්‍ර­හ­ණය කළා. ඉන්පසු මහ­මැ­ති­ව­ර­ණ­යේදී අඩි­ය­ටම වැටිලා සිටි­යදී පවා ආසන හත­ළි­හක් දිනුවා. විප­ක්ෂයේ ප්‍රධා­නම කණ්ඩා­යම තමයි සමගි ජන බල­වේ­ගය. මේ තත්ත්වය තුළ ඉදිරි පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී සමගි ජන බල­වේ­ග­යට එක්සත් ජාතික පක්ෂ­යට වඩා විශාල ජය­ග්‍ර­හ­ණ­යක් ලබා ගැනී­මට පුළු­ව­න්කම තිබෙ­නවා. මේ වෙද්දි ජාතික ජන බල­වේග ආණ්ඩුව පිළි­බ­ඳව තිබූ ප්‍රසා­දය කඩාවැටෙ­මින් තිබෙන්නේ. මේ නිසා එහි වාසිය ඍජු­වම ලැබෙන්නේ සමගි ජන බල­වේ­ග­ය­ටයි.

ආණ්ඩු­වට අභි­යෝග කළ හැකි මැති­ව­රණ ප්‍රති­ඵ­ල­යක් ඉදිරි මැති­ව­ර­ණ­යේදී අනි­වා­ර්යෙන්ම ලැබෙ­නවා. අද ගමට ගියොත් පැහැ­දි­ලි­වම ජන­තාව කිය­නවා සමගි ජන බල­වේ­ග­ය­ටත් යම් බල­යක් ලැබෙන්න ඕනෑ කියලා.

 ඔබ කියන්නේ පළාත් පාලන මැති­ව­ර­ණ­ය­කින් ආණ්ඩු­වට බල­පෑ­මක් කරන්න පුළු­වන් කිය­ලද?

ඇත්ත, පළාත් පාලන මැති­ව­ර­ණ­ය­කින් ආණ්ඩුව වෙනස් කරන්න බැහැ. ඒත් ආණ්ඩු­වට බල­පෑ­මක් කරන්න ආණ්ඩුව යන දිශාව වැරැදි නම් හරි දිශා­වට යන්න  කියලා සංඥා­වක් දෙන්න පළාත් පාලන මැති­ව­ර­ණ­යෙන් හැකි­යාව තිබෙ­නවා. අනි­වා­ර්යෙන්ම ජන­තාව මෙවර පළාත් පාලන මැති­ව­ර­ණ­යෙන් ආණ්ඩු­වට පැහැ­දිලි සංඥා­වක් ලබා දීමට සූදා­නම් බව දේශ­පා­ල­නය පිළි­බ­ඳව අත්දැ­කීම් ඇති මට පැහැ­දි­ලි­වම පෙනෙ­නවා. ආණ්ඩුව ජන­තාව වෙත ලොකු බලා­පො­රොත්තු ලබා දුන්නා. ඒත් අද වෙන­කම් ඒ බලා­පො­රොත්තු සැබෑ කිරී­මට ආණ්ඩුව සමත් වෙලා නැහැ. ඒ සියලු දේවල් පිළි­බඳ තක්සේ­රු­වක් තමයි ඉදිරි පළාත් පාලන මැති­ව­ර­ණ­යෙන් ලැබෙන්නේ.

උදිත ගුණ­ව­ර්ධන
ජායා­රූ­පය – ශාන් රඹු­ක්වැල්ල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT