නන්නාඳුනන අංකයක්
මට ඔබව සිහිවන්නේ නැත
ෆේස්බුක් මෙමරීස් අතරින්
විටින් විට උඩට ඉල්පෙන
පැරැණි කවි පේළියක් දුටු විට
මට ඔබව සිහිවන්නේ නැත.
පොත්හලක් අසලින් යන විට
පොත් පිටක ඇස් නතරවන විට
ඔබම තෑගි දුන් පොතක් කියවන විට වුව
මට ඔබව සිහිවන්නේ නැත.
හුදෙකලාවේ ගිලුණු මොහොතක
කපුගේගෙ ගීතයක් කෙළවර
අහම්බෙන්වත් රැයක – සිහිනෙක
මට ඔබව සිහිවන්නේ නැත.
නන්නාඳුනන අංකයක්
දුරකතන තිරය මත නළියන විට
පරිගණක තිරයක් විසින්
රහස් පදයක් විමසන විට
හුරුපුරුදු පටු මාවතක
වේගයෙන් ඇවිදගෙන යන විට
මඟතොටක, බසයක
දහවලක, හවසක
වැරදීමකින්වත්
මට ඔබව සිහිවන්නේ නැත.
ඇත්තමයි,
මේ කවිය ලියන විට දී පවා
මට ඔබව සිහිවන්නෙ නැත.
සචින්ත ප්‍රමෝද් නාඔටුන්න
මෙතෙක් දුර ආ එකම මට ඇති
අතින් අල්ලන් බොහෝ දුර යමු
කියා මා එක්කලම අවුදින්
සිතින් අල්ලන් හිටිය බෝ කල්
ඉතින් ඇස් මානයෙම තබමින්
නෙතින් නෙත යා කරන් දවසම
එකින් එක සුදු හීන පුරමින්
මෙතෙක් දුර ආ එකම මට ඇති
මගෙත් එක්කල පෙමින් වෙළෙමින්
ලකුණු එක දෙක පෙනෙන විට
වෙන් වෙනා බව ජීවිතේ උදයක
අකුණු සැර වදිනවා පපුවට
බැඳී තිබෙනා පෙමෙහි තරමට
කොහොම ගෙවුවත් දහවලෙහි මම
මගේ සිත පාවෙනා හීනෙක
රැය ගෙවන එක ලේසි නෑ
තනි කළුවරේ නා කපන අඳුරක
හීනයෙන් ඇහැරිලා අවුදින්
ඇවිදිනා කල සැබෑ සිහිනෙක
අදත් හැදුවා බැරි වෙලා මම
ඔයාගේ රස උදේ තේ එක
තනියි කියලා හිතුණොතින් හෙම
කොයි මොහොතෙ හරි ගැටී දෙසිතක
අගුළු දා නෑ අදත් දොර ළඟ
යතුර තියනව පුරුදු විදියම
කුසුම් ස්වර්ණමාලි
අප්පච්චියේ නොතළන් අපෙ අම්මාට
ගෙන් ගෙට ගොසින් ගෙන ආ සුන් සහල් මිටෙන්
බතක් උයා දෙකටක් අපහට කවමින්
වතුර උගුර බිවුවේ බත නුඹට දෙමින්
අප්පච්චියේ නොතළන් අපෙ අම්මාට
කන්දක ගින්දරක් උහුලාගෙන ඉන්නා
ලන්දට ගිහින් දර බිඳ මිටි කටින් ගෙනා
විකුණූ සොච්චමෙන් බත සරිකර දුන්නා
අප්පච්චියේ නොතළන් අපෙ අම්මාට
නියඟය ඇවත් ළිං ඇළදොළ සිඳුණු දිනේ
ගව්දුර ඇවිද කළගෙඩි හිස තබා ගෙනේ
පිපාසයට දිය උගුරක් දුන් බැවිනේ
අප්පච්චියේ නොතළන් අපෙ අම්මාට
ඇඳිවත ඉරා ඇදගෙන ගොස් කෙස් වැටියෙන්
දෙතිස් වදය දුන්නත් රකුසක් විලසින්
අම්මා නොවේ වදනක් තෙපලුවේ මුවින්
දරුණු නුඹද රා කට්ටද කියනු ඉතින්
ශිරෝමි රමලා පෙරේරා
විකසිත මල් මදිරා
නිලඹර සරන විහඟුනි අත්තටු විහිදා
පෙරඹර හිරු රැසින් විකසිත මල් මදිරා
මිහිලිය සිරස සරසන තුරුලිය සමුදා
තුසිතය නිදහසද කිව මැන නද පතුරා
බිලිඳුන් සුව නින්දෙ මවු තටුවක සිහිලේ
කඩුපුල් පිපුණාද රෑ යම හොර රහසේ
හදවත දැවෙන හින්දා කිරි දරු සිහිනේ
විහඟුනි ඇයට ඉගිළෙනු බැරුවා සතොසේ
ශාන්ති දිසානායක
කොහෙන්දෝ ආ පුංචි පණුවන්
ගසක් වන්නට වරම් තිබෙනා
පැළයකී මහ පොළොවෙ වැඩෙනා
පිපේ යැයි මල් බොහෝ අගනා
බලා උන්නා දෑස් දල්වා
කොහෙන්දෝ ආ පුංචි පණුවන්
පත්‍ර කා ගස කඳුළු සැලුවා
මලක් පුබුදනු කෙලෙස සිතමින්
හුස්ම අහිමිව හඬනු ඇසුණා
කාලෙකින් එහි මලක් පිපිලා
මඟ යන්නවුන් හැරී බැලුවා
මලේ පෙති යට රැඳී තිබෙනා
කඳුළු බිංදුව බිමට වැටුණා
මනෝජ් ප්‍රසන්න
සින්ඩරෙල්ලට ශුද්ධ පදයක්
විවාහ වූ පසුවත් සින්ඩරෙල්ලා
අර කුමාරයත් එක්කම
ඉඳහිටක නැතිවෙනවා සපත්තුත්
කොණ්ඩකටු බූල්ඩ් බෑන්ඩ් එක්කම
හොයනවා තියා රජ කුමරු දැන්
දන්නෙවත් නෑ ඔය වගතුග
දාහකුත් වැඩ කන්ද කෙළවර
හොයන්නේ සින්ඩරෙල්ලමයි තනිවම
ඔය අල්ලපනල්ලේ වැරදිලාවත්
නැතිවුණොත් කුමරුගේ මිරිවැඩි සඟල
ඒ හොයන්නෙත් සින්ඩරෙල්ලාමයි
ශුද්ධ පද දාහකුත් අහගෙන
සින්ඩරෙල්ලා,
බොහොමයක් සුරංගනා කතාවල
විවාහපත් වූ පසුව
ප්‍රේමය ගසාගෙන යනවා කුණු කානුවල
නදීෂ දිල්හාන්
පරාජිත පෙම්වතා
කඩු තුඩක සැර පපුව විනිවිද වචන එක දෙක රිදවනා
ඇහැ වැසුණ විට රුව ඔබේ වත හීනෙකින් සිත් හඬවනා
මතක අද්දර පෑරෙනා හිත හීනි කෙඳිරිලි නංවනා
ඇවිත් යනවද වරක් බැලුමට යළිත් පුරවා මල් සිනා
පාසලේ පෙම් බැන්ද මන්දිර වියළි සුළඟට මුසුවුණා
ආදරේ පොඩි වන්දනාවක අපේ පා යුග එසවුණා
ජීවිතේ රළු නග්න පොළොවෙහි අරලියා මල් පරවුණා
මාවතේ යම් හන්දියක නුඹ මගේ සෙනෙහෙන් වෙන්වුණා
නිකිණි වැස්සට ප්‍රේමයේ මුල් හදවතේ හැම තැන ගියා
එහා ඉවුරට එන්න හැකිවෙද පුංචි තරු මල් ඇස් අයා
පාලමේ වරපොටේ සලකුණු ඉවුරු දෑලේ නැති නියා
මෙහා සිට දැක බලා සැනහෙමි ප්‍රේමයම පුදසුන තියා
නිරායාසෙන් නැඟෙන සිතුවිලි කොළේ මතු පිට අතුරලා
ජීවිතේ මහ නියඟ යුගයක පෙම් පිපාසය මතු වෙලා
ආ මගේ රළු පරළු වැඩි වී හීන මල් හෙම්බත් වෙලා
අමිල විජේතිලක
තුනී තීරුවලට ඉරී ගියායින් පස්සේ
හුළඟ තැන් තැන්වලට ඉහිරුවේ
පරිස්සම් කරගමියි, සොළොස් වියේ සිට
සිතා උන් ආදරේ.
එක් මාවතක්, බෙදී යන විට
තව අනන්ත දිසා ගාණකට
ජීවිතේ කෙලින් ඉරක් නොවන හැටි
තේරුම් කළේ දවස් ගාණක් පුරා
කාමරේ නැවතිච්ච කළුවර.
මඳ වැසිවලින් පස්සේ- ළා ඉර ඇරෙන දවසක,
සෝදලා දෙන්න පුළුවනි නම්
අඩුම ගාණේ, කියාදෙන්න පුළුවනි නම්
පාට කීපයක් වුණ හැටි- කමිසයේ කඳුළු පැල්ලම්
ඊළඟ මංසන්ධියේ ඇති දුම්රියෙන්
පෙර නොදන්නා තැනකට
මට පිටත්වෙන්නට පුළුවන්.
දිනේෂ් සිල්වා
ඈ ලා තමා මෙබිමේ හිමිකාරියෝ
උපදිද්දි දැරිවියෝ – උගනිද්දි සිසුවියෝ
වැඩෙද්දි කෙල්ලො – ගෙටවෙද්දි ළමිස්සියෝ
පැද්දෙද්දි ගැටිස්සියෝ – හැඩ වෙද්දි යුවතියෝ
හිනැහෙද්දි සඳවතියෝ – හඬද්දි මුවැත්තියෝ
පෝරුවෙදි මනමාලියෝ – දරු පලදි මවුවරියෝ
ගෙදරදි ගෘහණියෝ – සමාජෙදි සේවිකාවියෝ
පින්බිමේදි උවැසියෝ – පව්බිමෙදි ගලවන්නියෝ
ඔවදෙනදි ගුරුවරියෝ – වරදෙදි බැටදෙන්නියෝ
සසුනේදි තුම් මෙහෙණියෝ – සටනේදි රණසූරියෝ
රෝහලේදි ලෙඩ නසන්නියෝ – අරගලේදි පෙරළන්නියෝ
කලාවෙදි කලාසූරියෝ – රැඟුමෙදි බඳ ලෙළවන්නියෝ
ගැයුමේදි ගී කොවුලියෝ – ඉවුමෙදි රස අවුස්සන්නියෝ
ඔනොමයිලු ඈ ලා – වෙනස ගත්සත්වියවලින්
ලත් සිට ලොවම දක්වා – ඈලා තමා මෙබිමේ හිමිකාරියෝ
ආරියපාල ගමගේ
නූතන ශිෂ්‍යයා
පොතේ ඉරුණු පාට පිටු අතර,
සංසුන් සිතක් සොයන කවුරුද?
අංක, සිද්ධි, නියම ගණන්,
ජීවිතය ඒවට වඩා විශාලද?
පන්ති අතර දිවෙන කාලය,
හදවතට කතා කරයි ද?
විභාගය ජීවිතය නොවෙයි කියා,
කවුරුද කියා දෙන්නේ ඔවුන්ට,
නූතන ලෝකය මතින් බලද්දී,
හදවතට ඇසුණු දේ සිතන්නද?
දැනුමත් සමඟ හැඟුම් දැනුම්,
ජීවිතයටත් ඉගැන්විය යුතුයි නේද?
පැරදුම දරාගත නොහැකි සිත්,
ඔන්ලයින් ගේම් සෙල්ලම් කරද්දි
ජය පැරදුම දරාගන්නට පෙර,
ගැඹුරු ජාතක කතා සිතට ගනීදෝ?
වජී ගුරුසිංහ
මට දැනෙන ඔබ
මට පෙනෙනවා
මම දකිනවා
මට ඇසෙනවා
මට දැනෙනවා
මා අසල සිටින ඔබ
මුමුනනා හඬ ඇසේ
මිමිනීම නැවතිලා
නිහඬතාවක් දැනේ
ඔබ කොහිද සොයන්නෙමි
දෙපා පැටලිලා බිම
වැටුණු බව දැනේ මට
මා අස ඔබ නැතිද
දිගු කරන්නට අතක්
සැඟවිලා ගොසින් ඔබ
සිනාසෙනවා නොවෙද
වැටුණු මා දෙස බලා
සතුටුයි ද ඔබට දැන්
මට පෙනෙනවා
මට දැනෙනවා
මට හැඟෙනවා
හිනැහෙමින් ඔබ තාම
මා ළඟින් ඉන්නවා
එහෙම මට දැනෙනවා
බුද්ධදාස ගලප්පත්ති
පිවිතුරු ඔබෙ හද
තනිකම මැකුවෙමි
හිත සැනසූවෙමි
සොයුරු පෙමින් මා
ඔබ ළඟ හිඳියෙමි
හිරු හට හිමි නැති
වුවද සයුරු ඉම
සවසට සිපගෙන
යන හැටි දැක දැක
බැරි තැන හිඳිනට
තවත් හදන් හිත
ඔබ වෙත ආවෙමි
මොහොතක් හිඳිනට
සමුගත්තත් මම
තව මොහොතින් අද
සිපගෙන යන්නෙමි
පිවිතුරු ඔබෙ හද
දිල්ක රවිහාර
හිත හදාගත්තා
පස් වසරක ආදරයක්
එක වචනයකින්
එපා වූ හැටි තාම අරුමයකි
ඔයාට මතකද
මගේ හීන බලාපොරොත්තු
සියල්ල පසෙකලා
ඔබට පෙම් කළේ මම
නුඹට ආදරේ නිසයි
ඇසි පිය ගසන පමාවෙන්
ඒ සියල්ල සුනුවිසුනු වූයේ
මට ඔබ අවැසිම මොහොතේ
කෙතරම් බාධක ආවත්
ජීවිතය අවසාන වන තුරු
නුඹට මම ආදරය කරන්න
හිත හදාගත්තා
කවදා හෝ දවසක
ඔබට මාව මතක් වේවි
නැවත ඔබ එනතුරු
මං මඟ බලා හිඳිමි
කුමාරි ප්‍රේමරත්න
මතක ලෙන්දොර
වසමි
සුසුම් පවනේ
එවමි
රෑහි ගීයක්
අසමි
මඟහැරුණ
කවි ලියමි
ඈත නිම්නය
සොයමි
සීත කන්දෙන්
බසිමි
නීල තරුවට
කියමි
සඳ සේල දිග
හරිමි
කාලයට ඉඩ
තබමි
මාවතේ දුර
දකිමි
සිහින පුරයෙන්
බසිමි
හැඟුම් ගජසෙන්
බඳිමි
මහගම සීලානන්ද හිමි