සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර ඊයේ ඩුනේඩීන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ අවසන් විස්සයි20 තරගය වර්ෂාව බාධා වීම හේතුවෙන් විසඳුමකින් තොරව නිමා විය.
මේ සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය. මේ දෙපිල විස්සයි20 ද්විපාර්ශ්වික තරගාවලියකින් එක්වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර, තරගාවලියක් ජය පරාජයෙන් තොරව නිමාවූයේ පළමු වරටය. මින් පෙර පැවති තරගාවලි ද්විත්වය (3-0 හා 2-1) ජය ගත්තේ නවසීලන්තයයි.
වර්ෂාවේ බාධා මැද ඊයේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය ඕවර 14.1කදී කඩුලු 3ක් දැවී ලකුණු 101ක් රැස් කර සිටියදී පිටියට වර්ෂාව පතිත වීම හේතුවෙන් තරගය අත්හැර දැමීමට තීරණය කෙරිණි. වර්ෂාව හේතුවෙන් ආරම්භය පමා වූ මේ තරගය ඉනිමක් ඕවර 15කට සීමා කරමින් පැවැත්වීමට නියමිතව තිබිණි.
තරගය නතර කරන විට ජෝර්ජියා ප්ලිමර් ලකුණු 46ක් සහ ඉසි ෂාප් ලකුණු 17ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. පන්දු යැවීමේදී නායිකා චමරි අතපත්තු සමඟ කවීෂා දිල්හාරි සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුල්ලක් බැඟින් දවා ගත්හ.
මේ තරගයේදී යොවුන් කාන්තා කණ්ඩායමේ උපනායිකා රශ්මිකා සෙව්වන්දිගේ ජාත්‍යන්තර මංගල විස්සයි20 තරග වරම් හිමිකර ගත්තාය. මේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන දිනා ගත්තාය.
ඊයේ පැවති තරගය චමරි අතපත්තු, ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ 100 වැනි විස්සයි20 තරගය විය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විස්සයි20 තරග 100කට නායකත්වය දුන් ලොව තෙවැනියා ලෙස චමරි වාර්තා අතරට එක්වූවාය. එහි පළමු තැන ඉන්දියාවේ හර්මන්ප්‍රීත් කෞර්ට හිමිව ඇති අතර, ඇය 2012 සිට 2024 දක්වා තරග 123කට නායකත්වය දී තිබේ. ඔස්ට්‍රේලියාවේ මේග් ලැනින් 2014 සිට 2023 දක්වා තරග 100ක් මෙහෙයවා ඇති අතර, චමරි 2014 සිට මේ දක්වා මේ තරග 100ට නායකත්වය දී ඇත. පිරිමි අංශයේදී වැඩිම තරග සංඛ්‍යාවක් මෙහෙයවා ඇත්තේ පාකිස්තානයේ බාබර් අසාම් වන අතර, ඒ තරග 85කදීය.
මේ අතර අයිසීසී නිකුත් කළ නවතම විස්සයි20 පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම් අනුව එක් ස්ථානයක් ඉදිරියට යමින් 6 වැනි තැන ගැනීමට චමරි සමත්ව තිබේ. නිලක්ෂි ද සිල්වා (52) ස්ථාන 3ක් ඉහළ යද්දී හර්ෂිතා සමරවික්‍රම ස්ථාන 2ක්, විශ්මි ගුණරත්න (69) ස්ථාන 4ක් පහළ වැටී තිබේ.
පන්දු යවන්නියන් අතරේ ඉනෝෂි ප්‍රියදර්ශනී (19) ස්ථාන 2ක් සහ සුගන්ධිකා කුමාරි (22) ස්ථාන 7ක් සහ කවිෂා දිල්හාරි (34) ස්ථාන 3ක් ඉහළ ගොස් සිටිති.