ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ පොල්වත්ත ග්‍රාමය කවදත් වළං කර්මාන්තයට ප්‍රසිද්ධ ගම්මානයකි. කොළඹ – කුරුණෑගල අංක 5 ප්‍රධාන මාර්ගයේ පොල්වත්ත හන්දියෙන් හැරී කිලෝමීටරයක් යන විට අපට හමුවන වළං කර්මාන්තකරුවන්ගේ වර්තමාන ඉරණම නම් සිතන තරම් සුබදායී නොවේ. ඔවුන් කවදත් තමන්ට සුපුරුදු රැකියාව කරමින් කාටත් අත නොපා ජීවිතය ගැටගසා ගත්තද දහසකුත් එකක් දුක් කම්කටොලු කීමට කවුරුත් සිටියේ නැත. රැකියා ලබා ගැනීමට ඔවුන් ඉල්ලුම් කළේ ද නැත. එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ පාරම්පරිකව පැවත එන තමන්ගේ වළං කර්මාන්තයේ පරිහානියක් දකින්නට නොව, දියුණුවක් දකිමින් ඒ සඳහා අවශ්‍ය පසුබිමක් සකසා ගැනීමය. කෙසේ වෙතත් පාරම්පරිකව සිදු කරන මෙම කර්මාන්තයට ආයුබෝවන් කීමට ඔවුහු තවමත් සිහිනයකින්වත් නොසිතති.
තමන් වෘත්තිය ජීවිතයේ මුහුණ පා සිටින දුක්ඛිත තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ පොල්වත්ත පදිංචි ඉඳුරගේ අනූෂා දිරුක්ෂි මහත්මිය දැක්වූයේ මෙවන් අදහසකි.
“පොල්වත්ත වළං කර්මාන්තය පාරම්පරික රැකියාවක්. පවුල් 500කට අධික පිරිසක් වළං සෑදීම ජීවන වෘත්තියක් වශයෙන් කරගෙන යනවා. අපට තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය තමයි අමුද්‍රව්‍ය ගැනීමේ ප්‍රශ්නය. අපි මැටි අරගෙන එන්නේ හලාවත, කොච්චිකඩේ, කටාන හා ගමන්ගෙදර යන ප්‍රදේශවලින්. හලාවත මැටි ගණන්. කොච්චිකඩේ මැටි තට්ටුවක් රුපියල් 25,000ක් විතර වෙනවා. මේක වැඩි වෙන අවස්ථාත් තියනවා. මේවා ඒ පැත්තේ මුදලාලිලා ගෙනත් දෙන අවස්ථාත් තියෙනවා. ඒක බොහොම අඩුවෙන් සිද්ධ වෙන්නේ. බොහෝ විට පොල්වත්ත ගමේම වාහන තිබෙන එක්තරා පිරිසක් සූදානම් වෙලා ඉන්නවා ඒ ප්‍රදේශවලට ගිහිල්ලා මැටි ගෙනත් දෙන්න. ඉතින් ඒවා මෙහෙට ගෙනාවම ගාණ කීයක් වුණත් මිලදී ගන්න ඕනෑ. එතකොට ගොඩක් අසරණ වෙන අවස්ථාත් තියෙනවා. පාරම්පරිකව පැවත එන අත් සකපෝරුව ආශ්රයෙන් මේ කර්මාන්තය කරගෙන යනවා. මැටි වළං සෑදීම සඳහා මැටි පදම් කිරීම කරන්නේ අපේ දෙපයින් පාගලා. මේ සඳහා අපට සෑහෙන දුකක් විඳින්න වෙලා තියෙනවා. උළු මෝල්වලට වගේම මැටි පදම් කිරීමේ යන්ත්‍ර සූත්‍ර තිබෙනවා. මැටි පදම් කිරීමේ යන්ත්‍රයක් ලක්ෂ 15ක් පමණ වෙනවා. ඒ මැෂින් එකක් පසුගිය රජයෙන් ලබා දුන්නා. ඒ අය පෞද්ගලිකව අපේ ගෙවල්වලට ඇවිත් මැටි පදම් කරල දෙනවා. අපි ඒවාට මුදල් ගෙවනවා. රජය මැදිහත් වී තවත් මැෂින් කීපයක් අරගෙන දෙනවා නම් පොල්වත්ත ගමටම ඇති. එහෙම වැඩසටහනක් ක්‍රියාත්මක කළොත් මුළු ගමේම දුප්පත් අපට කරන ලොකු උපකාරයක්. එහෙම කළොත් සෑහෙන පිරිසකට අමතර රැකියා අවස්ථාත් උදා කරලා මේක දියුණු කරන්න පුළුවන්. අපට මේ සඳහා බැංකු ණයක් ලබා ගන්න පුළුවන්. දැනටමත් ණය ලබා ගත් පිරිසක් ඉන්නවා. සමහර පවුල්වල වයසක පිරිස් සිටින නිසා ණය ලබා ගැනීම දුෂ්කර වෙලා. මොකද ඒ අයට මේ ගැන හරි අවබෝධයක් නැති නිසා.තවත් සමහර පවුල් මැටි සියල්ලෙන්ම වළං නිෂ්පාදනය කර අවසාන වෙලාම විකුණනවා.
අසරණ නූගත් සමහර අය මුදල් නොමැති නිසා වළං හදන්න කලින් සමහර මුදලාලිලාගෙන් අතමාරුවට වළං දීමේ පොරොන්දුව පිට මුදල් අරගන්නවා.
පසුව මුදලාලිලාට ඕනෑ ගණනට තමයි වළං ගන්නේ.”
අයි. ප්‍රියංගිකා මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.
“අපි අපේ නිෂ්පාදන කොළඹ, නුවර, ඇඹිලිපිටිය, මාවනැල්ල, බළන්ගොඩ, කඩුගන්නාව ආදී ප්‍රදේශවලින් ඇණවුම් ලැබුණාම ගිහින් දෙනවා. වියදම් කරන විදිහට ලාභයක් ලබන්න බෑ. ඊට හේතුව දර, මැටි වෙනුවෙන් විශාල මුදලක් දරන්න සිදුවීමයි.
සමහර ව්‍යාපාරිකයො භාණ්ඩ ණයට අරගෙන යනවා. ඒවා චෙක්පත්වලින් ලැබෙනකොට මාස දෙක තුනක් යන අවස්ථාත් තියෙනවා.
සමහරු චෙක්පත් ලබා දුන්නත් ඔවුන්ගේ බැංකු ගිණුම්වල මුදල් නොමැති නිසා අපි අපහසුතාවට පත්වන වාර අනන්තයි. සමහර අය භාණ්ඩ ලබාගෙන මුදල් ලබා නොදෙන අවස්ථාත් තියෙනවා. මේ වළං කර්මාන්තයට රජය මැදිහත් වෙලා ගම් මට්ටමින් කිසියම් සංවිධානයක් මඟින් හෝ මේවා අලෙවි කිරීමට පහසුකම් සලසා දෙනවා නම් ලොකු දෙයක්. අපට මැටි, දර ආදී අමුද්‍රව්‍ය ලබා ගැනීම වෙනුවෙන් සහනදායී වැඩපිළිවෙළක්, බැංකු ණයක් හෝ වෙනත් සුබසාධක වැඩ පිළිවෙළක් සලසා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා.”