නඩු භාණ්ඩ වශයෙන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ ගබඩා කර තිබූ තඹ තොගයක් සොරාගත් එම අධිකරණයේ මුරකරු රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නැයි කුලියාපිටිය දිසා විනිසුරු යූ.බී. කුලතුංග මහතා පෙරේදා (17) දිසා අධිකරණයේ දී නියම කළේය.
කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ මුරකරුවකු ලෙසින් සේවය කළ කාවින්ද ඩිල්ශාන් වනිගසේකර නමැත්තකු එලෙසින් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි. කුලියාපිටිය මූලස්ථාන පොලීසිය හා කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් විමර්ශන පවත්වන ලදුව සැකකරු අත්අඩංගුවට ගෙන පසුව එම නඩුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබිණි. එම නඩුව මුල් අවස්ථාවේ කැඳවූ කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයේම සේවය කළ අයකු හා ඔහු මෙම අගතිය සිදුකර ඇත්තේ ද එම අධිකරණයේ වීම හේතුවෙන් තමා ඉදිරියේ එම නඩුව නොකැඳවා දිසා විනිසුරුවරයා වෙත නඩුව යොමු කර තිබේ.
සැකකරු දිසා විනිසුරුවරයා හමුවට පමුණුවමින් කරුණු දැක්වූ පොලීසිය කියා සිටියේ, සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයේ රාත්‍රී මුරකරු බවයි. ඉකුත් වසරේ ඔක්තෝබර් මස 23 වැනිදා තඹ විශාල ප්‍රමාණයක් අස්ථානගත වී ඇති බවට අධිකරණ ලේඛකාධිකාරී මනේෂා අලහකෝන් මහත්මියගෙන් ලද පැමිණිල්ලක් අනුව දිගින් දිගට විමර්ශන සිදු කළ බවයි. එසේ විමර්ශන සිදුකෙරෙන අතරතුර යළිත් මාර්තු මාසයේ තවත් තඹ තොගයක් අස්ථානගත වූ බව ද පොලීසිය කියා සිටියේය. ඒ අනුව විවිධ උපක්‍රම හා තාක්ෂණික ක්‍රම භාවිතයෙන් කළ විමර්ශන අනුව මෙම සැකකරු පිළිබඳ අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් සැකකරුගේ ප්‍රකාශ අනුව මේ වන විට තඹ කිලෝ 192ක් හා ග්‍රෑම් 150ක් මේ වන විට සොයාගත් බවත් පොලීසිය පැවසීය.
මෙම සොරකමට තවත් අය සම්බන්ධ වී ඇතිද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව කී පොලීසිය, සොරකම සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීමට අධිකරණයේ විවිධ නිලධාරීන් පොලීසියට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමට සිදුවීමෙන් ඔවුන් ද අපහසුතාවට පත්වූ බව ද පෙන්වා දුන්නේය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා දැඩි අපහසුතාවට පත්ව තිබූ බව ද දිසා විනිසුරු ඉදිරියේ කරුණු දක්වමින් පොලීසිය කීය.
සැකකරු දැඩි රෝගාතුර තත්ත්වයක පසුවන බවත්. උග්‍ර රෝගාබාධ රැසකින් පෙළෙන බවත් සලකා පරීක්ෂණ සම්බන්ධව පොලීසියට අවශ්‍ය ලෙසින් සහාය පළ කරන එකඟතාව මත සැකකරුට ඇපයක් සලකා බලන ලෙස සැකකරු වෙනුවෙන් කරුණු කී නීතිඥ රමේෂ් ඩිල්ශාන් මහතා ඉල්ලා සිටියේය. සිදුවීම සම්බන්ධව සැකකරු මානසික තැවුලකින් හා පශ්චාත්තාපයෙන් පසුවන බව ද පැවසූ නීතිඥවරයා, ඇප සම්බන්ධව නොසලකන්නේ නම් සැකකරුගේ වෛද්‍ය වාර්තා පරීක්‍ෂා කර බලා බන්ධනාගාර රෝහලට යොමු කිරීමට නියෝගයක් ඉල්ලා සිටියේය.
එහි දී අධිකරණ භාෂා පරිවර්තක මඟින් සැකකරු ඇමතූ දිසා විනිසුරුවරයා විමසා සිටියේ, තමුන්ට ආරක්ෂක නිලධාරියා වශයෙන් මෙම භාණ්ඩ ආරක්‍ෂා කිරීමට නොසිතුෙණ් මන්දැයි කියාය. එමෙන්ම සොරකම් කිරීමේ දී මේසා විශාල රෝග ඇත්තෙක් යන්න සිහි නොවුණාදැයි යන්න විමසා සැකකරුගේ ක්‍රියාකලාපය සැලකීමේ දී කිසිසේත් ඇප සම්බන්ධව සැලකිය නොහැකි බව අවධාරණය කරමින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.