ආරච්චිකට්ටුව, බත්තුළුඔය, පයිනබේ පාලම ආසන්නයෙදී ලංගම බස් රථයක් අසල තිබූ වෙළෙඳසලක් ද කඩාගෙන දැවැන්ත මාර ගසක ගැටීමෙන් පෙරේදා (17) සිදුවූ අනතුරකින් 20 දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ නිකවැරටිය ඩිපෝවට අයත් නිකවැරටිය සිට අලුයම ආඩිගම, කිරියන්කල්ලිය හරහා කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් බව පොලීසිය පවසයි.
මෙම අනතුර අලුයම 5.30ට පමණ සිදුව ඇති බවත් බස් රථයේ ඇතිවු කිසියම් කාර්මික දෝෂයක් හේතුවෙන් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ඇදී ගොස් පයිනබේ පාලම අසලින් මීටර් කිහිපයක් දුරින් පිහිටි වෙළෙඳසලක්ද කඩාගෙන ගොස් අසල තිබූ දැවැන්ත මාර ගසක ගැටී නැවතී ඇති බව පොලීසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ 40කට වැඩි මගීන් පිරිසක් ගමන් කර ඇති බව පොලීසිය පැවසීය.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන වෙළෙඳසලේ ගැටීම සිදුවන අවස්ථාවේ දී වෙළෙඳසල තුළ කුඩා දරුවන් දෙදෙනකු හා ඔවුන්ගේ මවුපියන් නිදාගෙන සිට ඇති බවත් මොවුන්ට සුළු තුවාල සිදුව දිවි බේරි ඇති බවත් පොලීසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ තුවාලකරුවන් හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව හලාවත මහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතාගෙන් කළ විමසීමේදී පවසන්නට විය.
අනතුරින් ගසේ සිරව තිබූ බස් රථය දහවල් වන විට ඉවත් කර ආරච්චිකට්ටුව පොලීසිය වෙත රැගෙන යාමට කටයුතු කර තිබූ අතර ආරච්චිකට්ටුව පොලීසිය රථවාහන අංශ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇත.