මිහින්තලේ ගොවිජන සේවා බලප්‍රදේශයේ සීමාසහිත ජනතා ලංකා මිරිස් අලෙවි සමාගම නමින් සමාගමක් පිහිටුවා හිටපු කෘෂිකර්ම ඇමැතිවරයකු වූ එස්.එම්. චන්ද්‍රසේන මහතා මිහින්තලේ ගොවිජන සේවා බැංකුවෙන් ණයක් ගෙන වසර 24ක් තිස්සේ රුපියල් දහනව ලක්ෂ හැත්තෑපන්දහස් දෙසිය තිස්තුනක පොලී මුදලක් බැංකුවට ගෙවා නැතැයි නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. සීමාසහිත ජනතා ලංකා මිරිස් අලෙවි සමාගමේ සභාපති හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවිජන බලප්‍රදේශ 12ක මිරිස් මිල දී ගැනීම සඳහා 2001.04.19 වැනිදා රුපියල් ලක්ෂ සීයක ණය මුදලක් ලබාගෙන ඇති බව නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.
එම ණය මුදල ලබා ගත්ත ද ඊට අදාළ පොලී මුදල වන රුපියල් දහනව ලක්ෂ හැත්තෑපන්දහස් දෙසිය තිස්තුනක් මෙතෙක් ගෙවා නොමැති අතර එම පොලී මුදල අය කර ගැනීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය. ණය මුදල ඉල්ලීමට 2001.04.19 වැනි දින අනුමැතිය ලබාගෙන තිබෙනවා. දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව මඟින් ලක්ෂ සීයක මුදල කොටස් වශයෙන් දී තිබෙනවා. පනවන කොන්දේසි අනුව කටයුතු කිරීමටත් පියවර ගෙන තිබෙනවා. ගොවිජන කොමසාරිස් විසින් කෘෂිකර්ම කොමසාරිස් වෙත ලිපියක් මඟින් ණය මුදල ලබාදීම සුදුසු බවට අනුමත කරන බව දන්වා තිබෙනවා. නියෝජ්‍ය කොමසාරිස් විසින් අනුමැතිය දී ඇති බව දන්වා තිබෙනවා. ඒ වගේම අනුරාධපුර ගොවිජන නියෝජ්‍ය සංවර්ධන කොමසාරිස් විසින් ලිපියක් මඟින් ණය මුදල හා අයවීමට ඇති මුදල් සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ණය මුදලට අය විය යුතු පොලිය පමණක් දහනව ලක්ෂ හැත්තෑපන්දහස් දෙසිය තිස්තුනක් ලෙස ද තිබෙනවා. ඒ වගේම මේ මුදල 2001දී තමයි ගෙවන්න තිබුණේ. තවමත් ගෙවා නැහැ.