මියන්මාරයේ, මයාවාඩි හි සයිබර් අපරාධ මධ්‍යස්ථානවල රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 14 දෙනකු බේරා ගෙන තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් සහ මියන්මාරයේ හා තායිලන්ත රජයේ සහාය ඇතිව, ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙලෙස බේරා ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ ශ්‍රී ලාංකිකයන් පිරිස ඊයේ (18) මෙරටට පැමිණීමට නියමිතව සිටියහ.
මියන්මාරයේ නියෝජ්‍ය අගමැති යූ. තන් ස්වේ සහ විදේශ කටයුතු ඇමැති මාරිස් සන්ගියම්පොන්ග්සා මහත්වරුන් සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා සිදු කළ දුරකතන සංවාදයක දී ඔවුන් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සහාය වන ලෙස කළ ඉල්ලීමට අනුව මෙලෙස නිදහස් කර ගැනීමට හැකිව තිබෙන බව එම අමාත්‍යාංශය කියයි.
ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට සහ ආරක්ෂිතව නැවත මෙරටට ගෙන්වා ගැනීමට මියන්මාර සහ තායිලන්ත රජයන් දුන් සහාය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය කෘතඥතාව පළ කරයි. මේ ක්‍රියාවලියේ දී ජාත්‍යන්තර ගුවන් ගමන් සහ අභ්‍යන්තර ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) සහ මියන්මාරයේ අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන විසින් සපයන සුබසාධන ආධාර වෙනුවෙන් ද කෘතඥතාව පළ කරයි.
මියන්මාර සහ තායි බලධාරීන්ගේ අඛණ්ඩ සහයෝගය සහ තායිලන්තයේ සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සහයෝගයෙන්, තවදුරටත් ඉතිරිව සිටින ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සහ නැවත මෙරටට ගෙන්වා ගැනීම සුරක්ෂිත කිරීමට අමාත්‍යාංශය කැපවී සිටින බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
විදේශ රැකියා සොයන විට මිනිස් ජාවාරම් යෝජනා ක්‍රම සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව සිටින ලෙස ද විදේශ අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.