සීනෝර් පදනමේ හිටපු සභාපති දුලාන් ආසිරි මහතාට සාපරාධී ලෙස බිය ගන්වා මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ධීවර රාජ්‍ය අමාත්‍යවරයකු වූ පියල් නිශාන්ත ද සිල්වා මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත් ශාමිලා සහබ්දීන් මහත්මිය ඊයේ (18) නියෝග කළාය.
පියල් නිශාන්ත ද සිල්වා මහතා ධීවර රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවපු වකවානුවේදී සිදු කළ තර්ජනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවකට මෙම නියෝගය අධිකරණය මඟින් නිකුත් කරනු ලැබීය.පියල් නිශාන්ත ද සිල්වා මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයේ සිටි කාලයේදී සීනෝර් පදනමේ සභාපතිවරයා සමඟ පදනමේ මුදල් සම්බන්ධයෙන් ප්‍රශ්නසහගත තත්ත්වයක් ඇති වූ බවත් පසුව එම තත්ත්වය ආරවුලක් දක්වා දුරදිග ගොස් ඇති බවත් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අධිකරණයට කරුණු වාර්තා කළේය.
එම ආරවුල මත පියල් නිශාන්ත මහතා විසින් මෙම නඩුවේ පැමිණිලිකරු වෙත දුරකතනයෙන් අමතා වහාම සභාපති තනතුරෙන් ඉවත්ව යන ලෙසට පවසා ඇති අතර පසුව මරණ තර්ජනය කොට පැමිණිලිකරු බියවද්දා ඇති බවත් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කියවාලීම සඳහා නැවත නඩුව මැයි 27 වැනිදා කැඳවීමටත් සැකකරු ඇප මත මුදා හැරීමටත් අධිකරණය නියෝග කළේය.