අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත්කරමින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතන හතරක් සිදු කර දෙදෙනකුට බරපතළ තුවාල කර ඉන්දියාවට පලා ගොස් සැඟව සිටි ‘මෝල් කසුන්’ නමැත්තා මෙරටට පැමිණ හොර රහසේ සැඟව සිටියදී හෝමාගම ගලවිල ප්‍රදේශයේදී ඊයේ (18) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 5000ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘මන්නා රමේෂ්’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කළ වෙඩික්කරු බවත් පොලීසිය සඳහන් කරයි.
2023 වර්ෂයේ මැයි මස 12 වැනි දින අවිස්සාවේල්ල තල්දූව හන්දියේ සුපිරි වෙෙළඳ සලක් අසලදී පුද්ගලයන් දෙදෙනකුට තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදු කිරීම, එම මස 26 වැනි දින තල්දූව දේව ප්‍රතිමාව ඉදිරිපිටදී යතුරුපැදියකින් ගොස් ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම, 2023 සැප්තැම්බර් මස 20 වැනි දින අවිස්සාවේල්ල තල්දූව ගුරුපස්විලදී යතුරුපැදියකින් තවත් පුද්ගලයකු සමඟ ගොස් ත්‍රිරෝද රථයකින් පැමිණෙමින් සිටි පුද්ගලයන් සිව් දෙනකුට ටී පනස් හය ගිනි අවියකින් වෙඩි තබා එයින් තිදෙනකු ඝාතනය කර තවත් අයකුට බරපතළ තුවාල සිදු කිරීම සැකකරු සිදු කර තිබූ ප්‍රධාන අපරාධවලින් කීපයක් බව පොලිසිය සඳහන් කරයි.
2023 සැප්තැම්බර් මස 25 වැනි දින මන්නාරම හරහා බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් සිටි සැකකරු මීට දින කීපයකට ඉහතදී ඉන්දියාවේ සිට මන්නාරමට පැමිණ හෝමාගම, ඔලබොඩුව හා අවිස්සාවේල්ල ආදී ප්‍රදේශවල සැරිසරන බවට බස්නාහිර පළාත් දකුණු දිශාව අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් (72338) ලලන්ත නිලධාරියාට ලද තොරතුරක් ලැබී තිබී ඇත. ඒ අනුව පොලිස් නිල ඇඳුමෙන් සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු විශේෂ පොලිස් කණ්ඩායමක් හෝමාගම ගලවිල පාර අසල රැඳී සිට සැකකරු මත්කුඩු රැගෙන ගලවිල පාර දෙසට පැමිණෙන බවට ලද තොරතුරු අනුව අත්අඩංගුවට ගෙන ඇත.